hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 21, පෙ.ව. 9:11



ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.

මීට අදාලව ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අත්සනින් යුතුව රජයේ මුද්‍රණාලයට බාර දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ග්ලයිෆොසේට් තහනම තවදුරටත් පවත්වාගෙන යා යුතුද? නැද්ද? යන්න පිළිබඳව ගොවි නියෝජිතයින්, කෘෂිකර්ම විශේෂඥයින්, කෘෂි විද්‍යාඥයින් ඇතුලු විවිධ අංශවලින් කළ විමසීම් ගණනාවකින් අනතුරුව ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

පළමුවරට 2015 දී මෙරට ග්ලයිෆොසේට් තහනම් කරන ලද්දේ වල් මර්දනය සදහා කිසිදු විකල්ප වැඩ පිළිවෙළක් හඳුන්වා නොදෙමිනි. ඉන් අනතුරුව 2018 දී තේ හා රබර් සඳහා ග්ලයිෆොසේට් යෙදීම තහනම් කළා.

නමුත් ඇතැම් පුද්ගලයින් මුහුදු මාර්ගයෙන් මෙරටට තත්ත්වයෙන් බාල ග්ලයිෆොසේට් හොර පාරෙන් ආනයනය කර ඉහළ මිල ගණන් යටතේ මෙරට සෑම ප්‍රදේශයකම අලෙවි කරනු ලැබුවා.

එමනිසා තවදුරටත් ග්ලයිෆොසේට් තහනම පවත්වාගෙන යාම ඵලක් නැති තත්ත්වයට පත්වී තිබුණා.

එමෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ වල් මර්දනය සඳහා විකල්ප ක්‍රමවේදයක් මෙතෙක් නොතිබු බැවින් අස්වනු අඩුවීමට ද එම තත්ත්වය හේතුවුණා.

ඒ අනුව 2015 සිට වසර 07ක් තිස්සේ පැවැති ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට පියවර ගත් බව අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසුවා.

2015දී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ග්ලයිෆොසේට් තහනම පනවා තිබුණා.