hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 පෙබරවාරි 07, පෙ.ව. 10:11



දැනට පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘති කළමනාකරණ ඒකක 55ක් වසා දැමීමටත්, තවත් ව්‍යාපෘති කළමනාකරණ ඒකක 32ක කටයුතු අත්හිටුවීමටත් රජය තීරණය කර තිබෙනවා.

විවිධ අරමුණු සඳහා පිහිටුවා ඇති ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකක සඳහා සැලකිය යුතු පිරිවැයක් දැරීමට හා එම කාර්යාල සහ ඒකක සඳහා සැලකිය යුතු කාර්යමණ්ඩල බඳවාගෙන ඇති බව සැලකිල්ලට ගෙන, ඒවායේ කාර්යයන් සමාලෝචනය කළයුතු බවට 2022 අතුරු අයවැය ඉදිරිපත් කිරීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර තිබුණා.

ඒ අනුව, එම ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයන්ගෙන් අපේක්ෂිත අරමුණු ඉටු වී තිබේද යන්න සහ ඒවා තවදුරටත් පවත්වා ගෙන යා යුතු ද යන්න පිළිබඳව සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන එච්.ටී.කමල් පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා.

එම කමිටුව විසින් දැනට පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘති කළමනාකරණ ඒකක 55ක් වසා දැමීමටත්, තවත් ව්‍යාපෘති කළමනාකරණ ඒකක 32ක කටයුතු අත්හිටුවීමටත්, ව්‍යාපෘති කළමනාකරණ ඒකක 46ක් අවම කාර්යමණ්ඩලයක් සහිතව පවත්වාගෙන යාම යෝග්‍ය බවටත් නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව, කමිටු වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.