2022 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 9:35
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් 2021 වසරේ උසස් පෙළ විභාග අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල නිකුත් කරන ලද වෙබ් අඩවියට අනවසරයෙන් ප්‍රවිෂ්ට වී එම වෙබ් අඩවියේ සඳහන් අපේක්ෂකයන්ගේ තොරතුරු අනවසරයෙන් භාගත කර වෙනත් වෙබ් අඩවියකට ලබාගත් දකුණේ ජනප්‍රිය පාසලක සිසුන් කණ්ඩායමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණයක් අරඹා තිබෙනවා.
උසස් පෙළ විභාගයේ විභාග අපේක්ෂකයන් 360,000කගේ විභාග ප්‍රතිඵල මෙලෙස අනවසරයෙන් ලබාගෙන ඇති අතර මෙම කණ්ඩායම එම විභාග ප්‍රතිඵල වෙනස් කිරීමක යෙදුණේදැයි සොයා ගැනීම සඳහා මෙම විමර්ශනය පවත්වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පුවත්පතකට සඳහන් කර තිබෙනවා.
ඒ අනුව, කළ මූලික විමර්ශනයේදී විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ප්‍රවිෂ්ට වී (හැක්කර) මෙසේ විභාග අපේක්ෂකයන්ගේ දත්ත අනවසරයෙන් භාගත කළ ගාල්ලේ ජනප්‍රිය පාසලක උසස් පෙළ සිසුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබුණා.
ගාල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු මොහු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එනු ලැබුවා.
විභාග කොමසාරිස් ධර්මසේන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් මත එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා විසින් මේ පිළිබඳ විමර්ශන පරිගණක අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ උපදෙස් මත විමර්ශන අරඹා තිබෙනවා.
ඒ අනුව, ඉදිරි විමර්ශන සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය වෙත පැවරිණි. ඒ අනුව, එහි ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් කළ තාක්ෂණික විමර්ශනයකින් පසු විභාග දෙපාර්තමේන්තුවේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ (හැක් කිරීම) ටෙලිග්‍රෑම් සමූහය හඳුනා ගැනීමට නිලධාරීන්ට හැකිවිය.
2007 අංක 24 පරිගණක අපරාධ පනත යටතේ දත්ත සමග අනවසරයෙන් කටයුතු කිරීම බරපතළ වරදක් බව ද රහස් පොලිසිය කීය. ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම වෙබ් අඩවිය (http:llrezoth.ml) බවට හඳුනා ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාර සිසුවා මෙම වෙබ් අඩවිය මගින් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ තොරතුරු ප්‍රචාරය කර ඇති බව ද සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි.
මෙම සැකකරුවන් ටෙලිග්‍රෑම් හැකින් ගෲප් එකක් ලෙස හඳුනාගෙන ඇති අතර විභාග දෙපාර්තමේන්තු නිල විභාග ප්‍රතිඵල සහිත වෙබ් අඩවිය මොවුන් විසින් සකසන ලද ව්‍යාජ වෙබ් අඩවියට තාක්ෂණ ක්‍රමවේදයක් උපයෝගි කර ගනිමින් ඩවුන් ලෝඩ් කරගෙන ඇති බව ද විමර්ශන නිලධාරියා සඳහන් කළා.
ඒ අනුව, මොවුන් විසින් සම්පාදනය කර ඇති http:llrezoth.ml වෙබ් අඩවිය ක්ලික් කිරීමෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි සියලු ම අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල මෙම කණ්ඩායමට දැකබලා ගත හැකි වූ බවද හෙතෙම අවධාරණය කළා.
ඒ අනුව, මොවුන් විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට අයත් අපේක්ෂකයන් 360,000කගේ ප්‍රතිඵල පැය පහක කාලයක් තුළදී මෙසේ අනවසරයෙන් භාගත කරගෙන ඇති බව ද හෙතෙම පැවසුවා.
වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුළු වීම හා අදාළ මෘදුකාංග ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම කණ්ඩායමෙන් ප්‍රශ්න කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළා.
2025 මාර්තු 12, පෙ.ව. 12:28
2025 මාර්තු 12, පෙ.ව. 12:27
2025 මාර්තු 12, පෙ.ව. 12:26
2025 මාර්තු 12, පෙ.ව. 12:22
2025 මාර්තු 12, පෙ.ව. 12:21