hit counter

2026 ඔක්‍තෝබර් මස 17 වන සෙනසුරාදා

2026 ඔක්‍තෝබර් 17, ප.ව. 12:12



හයිටියේ ආරක්‍ෂාව සහ ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීමේ ජාත්‍යන්තර ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය තවදුරටත් ශක්තිමත් කරමින් හයිටි රාජ්‍යයේ ක්‍රියාත්මක කල්ලි මර්දන බලකා (Gang Suppression Force – GSF) මෙහෙයුමට එක්වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ 173 ක් සහ විශේෂ කාර්ය බළකායේ (STF) 45 ක් ඇතුළුව 218 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් ඔක්තෝබර් 16 ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියහ.

මෙයට පෙර, ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් 21 දෙනෙකු සහ සෙසු නිලයන්හි 259 දෙනෙකු ඇතුළුව 280 දෙනෙකුගෙන් සමන්විත තවත් කණ්ඩායමක් ඔක්තෝබර් 14 වන දින හයිටිය බලා පිටත්ව ගියහ. මෙම නව කණ්ඩායම් හයිටියේ දැනටමත් රාජකාරියේ නිරත ශ්‍රී ලාංකික කණ්ඩායම සමඟ එක්වීමට නියමිතය. එහිදී ශ්‍රී ලාංකික හමුදා කණ්ඩායම් සන්නද්ධ රථ මඟින් සිදුකරන මුර සංචාර සහ ප්‍රධාන සැපයුම් මාර්ගවල ආරක්‍ෂාව තහවුරු කිරීම ඇතුළු ආරක්‍ෂක මෙහෙයුම්වල නිරත වනු ඇත.

මේ අතර, එම මෙහෙයුමට එක්වීම සඳහා බංග්ලාදේශ හමුදා කණ්ඩායමක් සංක්‍රමණ නැවතුමකට ඔක්තෝබර් 15 වන දින ශ්‍රී ලංකාවට පැමිණි අතර, එම කණ්ඩායම වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සුහදශීලී ආගන්තුක සත්කාර ලබා දෙන ලදී. ආහාර පාන, නවාතැන්, ප්‍රවාහන පහසුකම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් සපයමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දෙරට අතර පවතින සුහදතාව සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් තහවුරු කළේය. අනතුරුව, ශ්‍රී ලාංකික සහ බංග්ලාදේශ හමුදා කණ්ඩායම් දෙකම හයිටියේ GSF මෙහෙයුමට එක්වීම සඳහා එකම ගුවන් යානයකින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියහ.