hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 27, ප.ව. 2:36



මහජන මුදල් යොදා ගනිමින් කොතෙක් ව්‍යාපෘති ආරම්භ කලද නිසි සැලැස්මක් නොමැති කමින් මීට වසරකට ඉහතදී ආරම්භ කෙරුණු පානීය ජල ව්‍යාපෘතියක් අතරමග නතරවීම තුලින් පානීය ජලය බලාපොරොත්තුවෙන් සිටි ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව ඒෂියන් මිරර් වෙත වාර්තා වුණා.

හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අන්තුඩුවාවෙල, කහටගොල්ල, පේරගස්පිටිය, මහකුඹුර යන ගම් කොටස් හා ක්වීන්ස්ටවුන් වතුයායේ කොටසක්ද ආවරණය වන පරිදි මෙම පානීය ජල යෝජනා ක්‍රමය 2021 නොවැම්බර් 15වන දින නිල වශයෙන් ආරම්භ කෙරුණා.

ඒ ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් හා එවකට ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

ජල සම්පාදන අමාත්‍යාංශයේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක දෙමෝදර ජල සම්පාදන ක්‍රමය යටතේ අන්තුඩුවාවෙල ආවරණ කලාපය වැඩිදියුණු කිරීම නමින් ආරම්භ කෙරුණු මෙම ජල ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 318 ක මුදලක් ඇස්තමේන්තුගත කොට තිබුණා.

“මෙම ජල යෝජනා ක්‍රමය එන්නටත් කලින් තමයි මෙම ස්ථානයේ ගබඩා ටැංකිය ඉදිකිරීම කර තිබුණේ. දැන් වසරකුත් ගෙවිලා අවසන්. හැබැයි තවම වෙනත් කිසිම දෙයක් සිදුවෙලා නැහැ. ජලනල එලන්න හිතලාවත් නැහැ. කොන්ත්‍රාත්කරුවන් ව්‍යාපෘතිය අතරමග නතර කරලා ගිහින් කියලයි අපට දැනගන්නට තිබෙන්නේ. මහා ලොකුවට බෙර ගහලා උත්සව තියලා වැඩ පටන් ගත්තට වැඩක් කෙරුණේ නැහැ. එතකොට මේ වෙන්වුණු මුදල් කෝ. අදාල බළධාරීන් මේ පිළිබදව හොයා බලලා හැකි ඉක්මණින් මේ ව්‍යාපෘතිය අවසන් කරලා දෙන්න කියලා ඉල්ලනවා.” යනුවෙන් ප්‍රදේශවාසියෙකු අදහස් දැක්වූවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය කළමනාකාර ටී.එම්.එස්.එස්.ඩී. තෙන්නකෝන් මහතාගෙන් මේ පිළිබඳව ඒෂියන් මිරර් කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ අදාළ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුදල් නොමැතිවීම නිසා ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතරවී ඇති බවයි.

අදාළ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු හිඟ මුදලක් පැවතීම නිසා එම මුදල් ලැබෙන තෙක් ඔවුන් ඉදිකිරීම් නතර කර ඇතත් ඔවුන් කොන්ත්‍රාත්තුව අත්හැර නොමැති බවත් මීට අදාළ හිඟ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලද විගස යළි ඉදිකිරීම් ආරම්භ කළ හැකිවන බවත් ප්‍රාදේශීය කළමනාකාරවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

බදුල්ල – ජයලත් දිසානායක