hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 03, ප.ව. 12:46



හන්තාන කන්ද තරණය කිරීමට  පැමිණි කැලණි විශ්වවිද්‍යාලයට අයත් රාගම වෛද්‍ය පීඨයේ සිසු සිසුවියන්  180 ක පමණ පිරිසක් සෙනසුරාදා හන්තාන කදු පෙදෙසට ඇද හැළුණු අධික වර්ෂාව සහ අධික මීදුම හේතුවෙන් කදු මුදුනේ අතරමංවී තිබෙනවා.                                                                                                        

මෙම සිසුන් කණ්ඩායමට නැවත පැමිණීම සඳහා මාර්ග සොයා ගැනීමට නොහැකිව සිටින බවට මහනුවර පොලිසියට ලද තොරතුරු මත මහනුවර මුලස්ථාන පොලිසිය හා යුධ හමුදා මුදා ගැනීමේ කණ්ඩායම් හන්තාන කන්දට ගොස් අතරමංවී සිටි පිරිසෙන්  120 ක පමණ සිසු පිරිසක් සොයාගෙන  පොලිසිය වෙත රැගෙන විත් තිබෙනවා.

මෙම පිරිස අතරින් සිසුන්  හතර දෙනෙකු අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවු බැවින් ඔවුන් මහනුවර ජාතික රෝහලට ඇතුලත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

අධික සීතලට ඔරොත්තු නොදීම, කම්පනය, කූඩැල්ලන් කෑම, සෙම්ප්‍රතිශ්‍යාව හැරෙන්නට රෝහල් ගත කල සිසුන්ගේ තත්ත්වය බරපතළ නැතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මහනුවර පොලිස් මුලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් ඇතුළු මුදාගැනීමේ මෙහෙයුම් කණ්ඩායම්  ඉරිදා පෙරවරුව වන විට කන්දේ අතරමංව සිටි අනෙකුත් සිසු සිසුවියන් පිරිසද  මුදාගෙන කන්දෙන් පහලට රැගෙනවිත් ඔවුනට අවශ්‍ය වෛද්‍ය පුතිකාර ලබාදීමට පොලිසිය කටයුතු යොදා ඇත.                                                             

මේ දිනවල අධික වර්ෂාව සහ පවතින මීදුමි තත්ත්වය නිසා  නුපුරුදු පිරිස් අනාරක්ෂිතව හන්තාන කන්ද තරණය කිරීමට යාමෙන් වළකින ලෙසත් ඊට අමතරව පළපුරුදු මග පෙන්වන්නන් ගේ සහාය ලබාගත යුතු බවද මහනුවර පොලිස් මුලස්ථානය හන්තාන කන්ද  නැර ඹීමට හා තරණය කිරීමට පැමිණෙන පිරිසගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.