hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 08, ප.ව. 3:07



නුවරඑළිය කදපොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් මිපිලිමාන මාගොඩ ඩික්සන් වත්තේ පිහිටි රජයේ අක්කර 14ක ඉඩමක් අනවසරෙන් අතපත් කරගෙන සිටීමට විරෝධය පාමින් නුවරඑළිය මිපිලිමාන ප්‍රදේශවාසින් පිරිසක් අද (08) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුලට පිවිස එම ඉඩම ගම්වාසින්ට බෙදා දෙන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගෙන් ඉල්ලිමක් සිදු කරනු ලැබූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් බව පැවසෙන මෙම ඉඩම එම ව්‍යාපාරිකයාට මීට සිව් වසරකට ප්‍රථම එලවළු වගාව සදහා කෙටි කාලීන බදු පදනම මත නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් ගිවිසුමක් මත තාවකාලිකව ලබාදි ඇති බවත්, එම ගිවිසුම් කාලය අවසන් වුවද එම ව්‍යාපාරිකයා විසින් සිය මුදල් බලය භාවිතා කරමින් එම ඉඩම තුල ස්ථිර ගොඩනැගිල්ලක්ද ඉදි කර තවදුරටත් එම ඉඩම තුල වගාවන් සිදු කරන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා හමුවිමට පැමිණි නුවරඑළිය මිපිලිමාන, ජපන්වත්ත ඇතුළු අවට ගම්වාසින් කියා සිටියේ.

නුවරඑළිය මිපිලිමාන ප්‍රදේශයේ ඉඩම් නොමැති විශාල පිරිසක් සිටින බවත්, එම පදිංචිකරුවන් බදු පදනම මත ලබාගත් කුඩා ඉඩම් කැබලිවල ජිවන උපාය ලෙස එලවළු වගාව සිදු කරන බවයි එම පිරිස කියා සිටියේ.

තනි පුද්ගලයෙකු විසින් භුක්ති විදින එම ඉඩම ඉඩම් නොමැති මිපිලිමාන ප්‍රදේශයේ තරුණ ගොවි සංවිධාන වෙත කෙටි කාලීන පදනම මත ලබා දෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් එම පිරිස ලිඛිතව ඉල්ලා තිබෙනවා.

මෙහිදි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා ප්‍රදේශවාසින් හමුවේ කියා සිටියේ සිව් වසරක බදු පදනම මත එම පුද්ගලයාට ඉඩම ලබා දී ඇති බවත්, ඔහුට තවත් රජයේ ඉඩම් කැබලි කිහිපයක් බදු පදනම මත ලබාදි තිබුණද එම ඉඩම් සදහා රජයට අයවිය යුතු බදු මුදල් මෙතෙක් ගෙවා නොමැති බවයි.

ව්‍යාපාරිකයෙකුට රජයේ ඉඩම් කිසිසෙත් ලබාදිය නොහැකි බවත්, ඒ අනුව එම ඉඩම යලිත් රජයට අත්පත් කර ගැනිමට මැදිහත් වන ලෙසට නුවරඑළිය ප්‍රාදේශිය ලේකම්වරයාට සහ ඉඩම් කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම් දිමට පියවර ගන්නා බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රදේශවාසින් හමුවේ පවසා තිබෙනවා.

හැටන් – රංජිත් රාජපක්ෂ