hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 අප්‍රේල් 22, පෙ.ව. 2:22



ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය හේතුවෙන් ඉදිරි මාස තුන ඇතුළත රටේ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමේ බරපතල අවිනිශ්චිතතාවයක් තිබෙන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය රවී දයාසේන මහතා අනාවරණය කළා.

එනිසා සෞඛ්‍ය සේවාව සැලකිය යුතු අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බවත් අවශ්‍ය වෛද්‍ය සැපයීම් නොකඩවා නොලැබෙන තත්වයක් තිබෙන බවත් විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියා.

ප්‍රතිජීවක ඖෂධ, නිර්වින්දන ඖෂධ, දිලීර නාශක සඳහා අවශ්‍ය ඖෂධ, හෘද්‍යාබාධ සඳහා අවශ්‍ය ඖෂධ, බාහිර ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ විශාල හිඟයක් ඇති ලැයිස්තුවක් විශේෂඥ වෛද්‍යවරුන් විසින් සකස් කර තිබෙනවා.

රෝහල්වල විශාල වශයෙන් ඖෂධ හිඟයක් පවතින බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයට අමතරව තවත් අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් ඒ ඉන්ධන හිඟය හේතුවෙන් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ හැකියාව අඩු වීම බවත් කියා සිටියා.

මෙලෙස ඖෂධ හිඟය නිර්මාණය වීමට හේතුවද විශේෂඥ වෛද්‍යවරයා හෙළි කළා.

එහිදී ඔහු කියා සිටියේ ජනවාරි මාසයේ ඇනවුම් කළ යුතු ඖෂධ සහ වෛද්‍ය උපකරණ සඳහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලබා නොමැති බවයි.

එනිසා එම ඇනවුම් කිරීමට නොහැකි වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා තිබෙනවා.

අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් මේ මාසයේ මැද භාගයේදී ඇනවුම් කර තිබෙන බවත් එම ඇනවුම් මෙරටට ලැබීමට මාස තුනක කාලයක් ගත වන බවත් විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළා.