hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 නොවැම්‍බර් 22, ප.ව. 4:50



ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අධිවේගී මාර්ගවල සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය සමඟ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශ වෙත සහාය ලබාදිය යුතු බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මේ වනවිට සිදුව ඇත්තේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නොව කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි.‍

මේ අතර ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලී සිටියදී අධිවේගී ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට තිබූ යන්ත්‍ර සුත්‍ර සියල්ල ගලවා ගෙන ගොස් තිබීම තුළන් රජයේ ආදායම හිතාමතා අහිමි කිරීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

රට තුළ පවතින මූල්‍ය අර්බුදය යටතේ එවැන්නක් සිදුකිරීම බරපතළ අපරාධයක් බවත්, මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශවලට සහාය දැක්විය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

එමෙන්ම වෘත්තීය ක්‍රියාමාර්ගයත් සමඟ අධිවේගී මාර්ගවල රථවාහන ධාවනය සඳහා පවතින තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොට්ටාව සහ අතුරුගිරිය යන අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවල විශේෂ නිරීක්ෂණයක ද නිරත වුණා.

කෙසේ වෙතත් මේ වන විට කොට්ටාව අධිවේගී මාර්ග අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ යුධ හමුදාවේ නිලධාරීන් මගින් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ මුදල් අය කිරීම සිදුකරන අතර අතුරුගිරිය අන්තර් හුවමාරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් විසින් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ මුදල් අය කිරීම සිදු කරනු ලබනවා.    

ඒ සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ජායාරූප කිහිපයක් ද හුවමාරු වෙමින් පවතිනවා.