hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 06, ප.ව. 12:07



ගාල්ල ධීවර වරාය භූමියේ ස්ථාපිත කොට ඇති අයිස් යන්ත්‍රාගාරය කුණු කොල්ලයට පුද්ගලික අංශයට ලබාදීමේ  කුමන්ත්‍රණාකාරි වැඩපිළිවෙළක් දියත්වෙමින් පවතින බව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පැවසුවා.

මසකට රුපියල් ලක්ෂ 50ක ශුද්ධ ආදායමක් ලබා ගැනීමට හැකිව තිබියදී මෙම අයිස් යන්ත්‍රාගාරය මාසිකව ලක්ෂ 12ක බදු පදනම යටතේ පුද්ගලික අංශයට ලබා දීම සදහා මේ වන විට පිඹුරුපත් සකස්කොට ඇති බවද රත්න ගමගේ මහතා පෙන්වා දෙනවා.

අයිස් යන්ත්‍රාගාරය  පුද්ගලික අංශයට ලබා දීමේ කුමන්ත්‍රණය පිටුපස අතයට දුෂිත ගනුදෙණුවක් ද සිදුවෙමින් පවතින බවත් මෙවැනි දුෂිත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදුකළ නිලධාරින්ට එරෙහිව කටයුතු කළ යුතුව ඇති බවද රත්න ගමගේ මහතා පැවසුවා.

මේ පිළිබද ගාල්ල ධිවර වරාය පරිශ්‍රයේ දි ඊයේ (05) මාධ්‍යට අදහස් දක්වමින් රත්න ගමගේ මහතා මෙසේද සඳහන් කළා,

“මෙම අයිස් නිෂ්පාදන යන්ත්‍රාගාරය සුනාමි ව්‍යසනයේ දි විනාශ වීමෙන් පසු ජපන් රජය විසින් තමයි නැවත ඉදි කරලා දුන්නේ. මෙම යන්ත්‍රාගාරයෙන් අයිස් ටොන් 50ක් පමණ දෛනිකව නිෂ්පාදන කරන්න පුළුවන්. ධීවර සංස්ථාව තමයි මෙම යන්ත්‍රගාරය මුලදි පාලනය කළේ. ඒ කාලයේ ලාභ ලැබුවා. ප්‍රමිතියෙන් යුතු අයිස් ධිවර ජනතාවට ලබා දීමට හැකිවුනා. පසුව ධීවර සංස්ථාවේ ඉහල කළමණාකාරිත්වය විසින් තම දේශපාලන හිතවතුන්ට අයිස් යන්ත්‍රගාරය භාරදීම නිසා අයිස් නිෂ්පාදනාගාරයේ දෛනික නිෂ්පාදනය හරි අඩකින් පමණ මේ වනවිට අඩු වෙලා තියෙනවා.

මෙම යන්ත්‍රගාරයෙන් දිනකට කිලෝ 50 අයිස් කැට 1024 නිෂ්පාදනය කරන්න පුළුවන් ඒ අනුව දිනකට අයිස් කැට 1000ක් නිෂ්පාදනය කළහොත් මසකට එක්කෝටි දශ ලක්ෂයක පමණ අදායමක ලබාගන්න පුළුවන්. එම නිසා අයිස්යන්ත්‍රාගාරය පුද්ගලික අංශයට ලබාදිම වහාම නතර කරන ලෙස ධීවර ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.”

මෙහිදි අයිස් යන්ත්‍රාගාරය පුද්ගලික අංශයට ලබා නොදෙන ලෙස ඉල්ලමින් පෙත්සමකටද අත්සන් කිරිම ද මෙහිදි සිදු වුණා.

ගාල්ල – ලලිත් චාමින්ද