hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 06, පෙ.ව. 6:43



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇතැම් කොන්දේසි ඉටු කිරීම සම්බන්ධයෙන් පවතින අර්බුදකාරී තත්ත්වය මත එම මුදල් නිකුත් කිරීමේ ප්‍රමාදයක් සිදුව ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා.

මහනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ඒ මහතා කියා සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවනු ලැබ ඇති සෑම කොන්දේසියක් ම රජයක් වශයෙන් පිළිගත හැකි නොහැකි ඒවා බවයි.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවා.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට නම් රජය විසින් ඉටු කළ යුතු කොන්දේසි රැසක් තිබෙනවා. රාජ්‍ය සේවය අඩු කිරීම, පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම, රාජ්‍ය ආරක්ෂක අංශ සංයුතිය අඩු කිරීම, සියලු රාජ්‍ය වියදම් හා අයවැය පරතරය බදු මුදල් මගින් පියවා ගැනීම හා තව ත් කොන්දේසි එතන තියෙනවා. ඒ නිසා තමයි බදු වැඩි කරන්න වෙන්නේ, විදුලි බිල වැඩි කරන්න වෙන්නේ, ඉන්ධන මිල සංශෝධනය කරන්න වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සියලුම කොන්දේසිවලට රජයක් වශයෙන් අපිට එකඟ වෙන්න බෑ. ආරක්ෂක අංශ අඩු කිරීම අපිට කරන්න බෑ. මේක 30 අවුරුදු යුද්ධයකට මුහුණ දුන් රටක්, අයි.එස්.එස්. ත්‍රස්තවාදී ප්‍රහාරයකට මුහුණ දුන් රටක් කොහොම ද ආරක්ෂක අංශ අඩු කරන්නේ. මේ අය කියන සියලු රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කරන්න බෑ. අපිට දැනට ත් උදාහරණ තියෙනවා ඇතැම් ආයතන භාගෙට පෞද්ගලීකරණය කරලා ඒ අය හැසිරෙන විධිය පිළිබඳව.

මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා මට්ටමින් තමයි තියෙන්නේ. ඒ නිසයි මේ මුදල් ලැබීම තවම ත් ප්‍රමාද වෙන්නේ. සාකච්ඡා සාර්ථක වූව ත් මේ මුදල් කොටස් වශයෙන් තමයි ලැබෙන්නේ. ඒකම බලං ඉඳලා අපිට කවදාවත් ගොඩ යන්න බෑ. අද හැමෝ ම කතා වෙන්නෙ පළාත් පාලන මැතිවරණය ගැනයි. හැබැයි අද ජනතාව ඉල්ලන්නේ මැතිවරණයක් නෙවෙයි. දැඩි ආර්ථික පීඩනයකට ලක් වෙලා ඉන්න ජනතාව ඉල්ලන්නේ යම්කිසි සහන ලබා දෙන්න කියලයි. එහෙම කරන්න නම් මේ ආර්ථික අර්බුදය තරමක් හෝ සමථයකට පත් කරලා රජය ස්ථාවර වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ මැතිවරණයක් තියන්න පුළුවන් කියන එකයි මගේ අදහස. මැතිවරණ කල් දැමීමේ අදහසක් රජයට නෑ. මේ මැතිවරණය එක වරක් කල් දැම්මා ආයෙත් කල් දාන්න බෑ. එහෙම කල් දානවා නම් අනිවාර්යයෙන් ම හදිසි නීතිය ගේන්න වෙනවා. මේ වෙලාවේ කොහොමට ත් හදිසි නීතිය ගේන්න බෑ. ඒක සුදුසු නැහැ. නමුත් අද පළාත් පාලන ආයතන විශාල වශයෙන් අවුල් වියවුල් වලට මුහුණපා සිටිනවා. එවන් ආයතනවලින් ජනතාවට හෝ රටට වැඩක් වෙනව ද කියන ප්‍රශ්නය ත් අපට තියෙනවා. නමුත් මැතිවරණයත් තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය මුදල් හොයා ගැනීමේ ගැටලුවකුත් තියෙනවා. අයවැය පරතරය දිගින් දිගට ම පවත්වාගෙන යාමේ ආර්ථික බෝම්බය පිපිරීම තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමට ප්‍රධාන හේතුව. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට වුණත් තව ටික කාලයක්වත් මේක ඇදගෙන යෑමේ හැකියාවක් තියෙනවා කියලා අපි හිතන්නේ නෑ. රටේ අර්බුදකාරී තත්වයක පත්ව සිටියදී විපක්ෂය බොරදියේ මාළු බෑමට දරන උත්සාහය අපි පිළිගන්නේ නෑ. රට ස්ථාවර නොකර මොනවා කල ත් වැඩක් නෑ.

එදා අපිට ඡන්දය දුන් 69 ලක්ෂය අද අපි සමග නෑ කියලා අපි හොඳින් ම දන්නවා. මේ දැඩි ආර්ථික පීඩනයක් සමග ජනතාව රජය සමග වෛරයකින් පසුවන බව අපි දන්නවා. මම කියන්නේ මේ අවස්ථාවේ මැතිවරණයකට එනවනම් අපි එක්සත් ජාතික පක්ෂය සමග එක්ව එක සලකුණක් යටතේ තරග කළ යුතුයි කියලයි. අපේ ඡන්දයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් වුණා නම් ඒ පක්ෂ සමග එක්ව මැතිවරණයකට තරග කිරීමේ කිසි ම ගැටලුවක්.රජය පීඩනයකට පත් වූ අවස්ථාවේ එම පීඩනය දරාගත නොහැකිව අපේ පක්ෂයෙන් හා රජයෙන් පළා ගිය අය දැන් මහජනතාව ඉදිරියට ඇවිල්ලා නන් දොඩවනවා. දැඩි කුණාටුවකදි ආත්මාර්ථකාමීව නැවෙන් පැන පීනා ගොස් තනිවම බේරීමට උත්සාහ කළ අයට ද ඡන්දය දෙන්නේ එසේ නැතිනම් නැව බේරා ගැනීම සඳහා දැඩි කැපවීමක් කළ අයට ද ඡන්දය දෙන්නේ කියලා ජනතාව කල්පනා කළ යුතුයි. මේ අය එක්ක එකතු වෙලා ඉන්න ඇතැම් අය පාර්ලිමේන්තුවේ දොරවල් කීයක් තියෙනව ද කියලවත් දන්නේ නෑ නවකයෝ.ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතැම් අයගේ කුමන්ත්‍රණවලට අහුවුණා. හැබැයි ඒ අයට මම එකක් කියනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා එක්ක වගේ රනිල් වික්‍රමසිංහ මහතා එක්ක කුමන්ත්‍රණය කරන්න හිතන්නවත් එපා කියලා. රනිල් වික්‍රමසිංහ කියන්නේ ඒවට අහුවෙන කෙනෙක් නෙවෙයි.