hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 02, පෙ.ව. 11:01



මෙවර නිදහස් උත්සවයට කාදිනල් හිමියන්, රදගුරු හිමිවරු, පියවරු හෝ කන්‍යා සොහොයුරියන් ඇතුළු කිසිවෙකු සහභාගි නොවන බව කොළඹ අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක මීගමුව, කුරණ සාන්ත ආනා කතෝලික දේවස්ථානයේ මීසම් පාලක ඥානාර්ථ ප්‍රදීපයේ කර්තෘ ආචාර්ය සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පැවසූවා.

රට ආර්ථික වශයෙන් බංකොලොත්වී ඇති අර්බුදකාරී අවස්ථාවක මිලියන ගණනින් වැයකොට නිදහස් උත්සවයක් පැවැත්වීම ජනතාවට එරෙහිව කරන මහා අපරාධයක් යැයි තමන් වහන්සේලා දකින නිසා එවන් අවස්ථාවකට කතෝලික කිසිදු නියෝජනයක් නොදීමට තීරණය කළ බව උන්වහන්සේ පැවසුවා.

අගරදගුරු නිල නිවෙසේ ඊයේ (1) පැවති මාධ්‍ය හමුවකදී පියතුමා මේ බව කියා සිටියා.

හැත්තෑ පස්වන නිදහස් උත්සවය අභිමානවත් හා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට ජනතා මුදල් අතිවිශාල කන්දරාවක් වැය කිරීමට කතෝලික සභාව ලෙස තමන් වහන්සේ දැඩි සේ විරෝධය පළ කරන බව ද උන්වහන්සේ පැවසූවා.

නිදහසේ හැත්තෑ පස් වන සංවත්සරයේදී සිදුකළ යුතුව තිබුණේ පසුගිය වසර හැත්තෑ පහ පුරාවට ම මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් බවට ඇද දැමූ රට පාලනය කළ සියලු ම දේශපාලන පක්ෂ තම වැරදි පිළිගෙන ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීම යැයි ද සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අවධාරණය කළා.

රටේ සම්පත් කොල්ල කෑ සියල්ලන් හා බදු මුදල් මහා පරිමාණයෙන් නොගෙවූ දූෂිත ව්‍යාපාරිකයන් නීතිය ඉදිරියට පමුණුවා ජනතා මුදල් හා බදු මුදල් අය කර ගැනීමට කටයුතු කළේ නම් අඩු තරමේ වසර හැත්තෑ පහකට පසුව හෝ ජනතාවට නිදහසේ ජීවත් වීමට හැකි රටක් ගොඩනැගීමේ පළමු පියවර තැබූ බවට සැනසීමට පුළුවන්කමක් තිබුණේ යැයි ද පියතුමා පවසා සිටියා.

විදේශ ණය ගෙවා ගැනීමට නොහැකි, ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇති, නීතියේ ආධිපත්‍ය දරුණු ලෙස බිඳ වැටී ඇති, අඛණ්ඩව විදුලිය සැපයීමට අසමත්, රෝගී ජීවිත අනතුරේ හෙළා ඇති රටක රුපියල් මිලියන දෙසීයකට අධික මුදලක් වැය කරමින් අභිමානවත් ලෙස සැමරීමට ඇති නිදහස කවරේ ද? යන්න උන්වහන්සේ ප්‍රශ්න කළා.