hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 02, ප.ව. 3:55



ඉන්දියාවේ රාමේෂ්වරන් සේරංකොඩෙයි මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුලුවීමට ආ උතුරේ වැසියන් 5 දෙනෙකු ඊයේ (01) දින එරට ආරක්ෂක අංශ භාරයට පත්වී ඇති බවට වාර්තා වෙනවා.

ගතවූ මාර්තු මස 22 වනදා සිට මේ දක්වා උතුරු පලාතේ පිහිටි මුහුදු තීරයන් ඔස්සේ ඉන්දියාවට ගිය ප්‍රමාණය 80කට අධික බවටද එරට ආරක්ෂක අංශ විසින් වැඩි දුරටත් පෙන්වා දෙයි.

රාමේෂ්වරන් සේරංකොඩෙයි මුහුදු ප්‍රදේශයට ඊයේ දින අනවසරයෙන් ඇතුල්වී ආරක්ෂක අංශ භාරයට පත්ව ඇත්තේ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පස් දෙනෙක්.

මෙම පිරිස අතර මාස දෙකක් වයසැති කුඩා දරුවෙකු සහ අවුරුදු 7 කුඩා දැරියක්ද සමගින් 05 දෙනෙකු මන්නාරම් මුහුදු තීරයෙන් කුඩා ධීවර යාත්‍රාවක් මාර්ගයෙන් ඉන්දියාවේ රාමේෂ්වරන් සේරංකෝඩෙයි මුහුදු වෙරලට පැමිණීමෙන් අනතුරුව වෙරලාරක්ෂක නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගත් බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබෙනවා.

කිසිදු ආරක්ෂාවක් නොමැතිව කුඩා යාත්‍රාවල කුඩා ළමුන්ද රැගෙන මුහුදු ගමන් ඔස්සේ ඉන්දියාවට පැමිණීම දැඩි අවධානම් තත්වයක් බවටත් පැමිණි පිරිස් සරණාගත කඳවුරු වෙතට යොමු කිරීමට පියවර ගෙන ඇති බවටද ඉන්දීය ආරක්ෂක අංශ විසින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙලෙස දිනෙන් දින ඉන්දියාවට පලා යන පිරිස් එරට ආරක්ෂක අංශ වෙතට පවසා ඇත්තේ ශ්‍රීලංකාවේ පවතින දැඩි ආර්ථික අගහිගකම් හේතුවෙන් තමන්ට ජීවත් වීමට නොහැකි වීම මත මෙලෙස ගෙවල් දොරවල් දමා පැමිණි බවයි.

(වන්නි – රොමේෂ් මධුෂංඛ)