hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 18, ප.ව. 1:29



ඉන්ධන හිඟය හේතුවෙන් මේ වන විට පෙට්‍රල් නොමැති තත්වයක් පවතින අතර ඩීසල් නිකුත් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

මේ අතර දැනට තිබෙන සීමිත පෙට්‍රල් සංචිත බෙදාහරින ක්‍රමවේදයක් ලංකා IOC ආයතනය විසින් ලබාදී තිබෙනවා.

ඒ අනුව IOC සමාගම සතු සීමිත පෙට්‍රල් සංචිත අද(18) සහ හෙට(19) දිනයන්හි දී පිරවුම්හල් වෙත නිකුත් කරනු ලබයි.

එහිදි ඉන්ධන තොග සීමා වීම නිසා ඉන්ධන නිකුත් කරනු ලබන්නේ වාහන අංකය අදාළ ප්‍රදේශයේ ලියාපදිංචි වී ඇත්නම් පමණි.

ඒ අනුව පහත අංකවලට අදාළව ඔබ ප්‍රදේශයට හිමි අංකයට විස්තර ලබා දීමෙන්, පිරවුම්හල්වලට ඉන්ධන ආ සැනින් කෙටි පණිවිඩයක් මගින් ඔබව දැනුවත් කරනු ඇත.

පෙට්‍රල් වල දින 3ක්

කෙසේ වෙතත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසූවේ අද සහ හෙට (19) යන දින දෙක තුළ පෝලිම්වල රැඳීසිටියත් පෙට්‍රල් ලබාදීමට නොහැකි බවයි.

සිකුරාදා (20) දිනයේ සිට පෙට්‍රල් බෙදාහැරීම ආරම්භ කළත් ඉන්ධනහල් තුළින් නිකුත් කිරීමට ද දින 3ක් පමණ ගතවිය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

නමුත් අද(18) පස්වරුව වනවිට මෙරට සක්‍රීය ඉන්ධන පිරවුම්හල් 1190 ටම ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා සිටියා.

මන්ත්‍රීන්ට පොලීසියෙන් තෙල්

මේ අතර සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාරාහේන්පිට පොලිස් ඉන්ධන හලෙන් ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කරන ලෙස පොලිස්පති නිල කාර්යාලය දන්වා තිබෙනවා.

ඒ ඊයේ (17) කතානායකවරයා පොලිස්පතිවරයාගෙන් SA/ E/ 06 දරණ ලිපි ශීර්ෂය යටතේ කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්.

ඒ අනුව ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය පොලිස් ප්‍රවාහන කොට්ඨාශය වෙත දන්වනු ලබනවා.

මුදල් අය කර ගැනීම සඳහා නිලධාරියෙකු ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් යොදවනු ලබන බව පොලිස් නිල කාර්යාලය නිකුත් කළ ලිපියේ සඳහන්.

ඉන්ධන එනතුරු මහජනතාව රට පුරා ඉන්ධන හල් අසල රැස්ව සිටින පසුබිමක රට මේ තත්ත්වයට ඇඳ දැමූ මැති ඇමතිවරුන්ට පොලිස් ඉන්ධන හලෙන් ඉන්ධන ලබා ගැනීමට සදාචාරාත්මක අයිතියක් තිබේ ද? යන්න ජනතාව ප්‍රශ්න කරනවා.

Gallery




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: