hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 05, පෙ.ව. 5:24



දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (IRoad) යටතේ ආරම්භ කෙරුණු බදුල්ල- ස්ප්‍රිංවැලි මාර්ගයේ වීරියපුර බිෂොප් නිල නිවාස මාර්ගය දක්වා කොටස සංවර්ධනය කිරීම සඳහා වැඩ කටයුතු ආරම්භ වූයේ වර්ෂ 2018 ජූලි මාසයේදීයි.

ආසියානු සංවර්ධන බැංකු ණය පහසුකම් මත මේ සඳහා ඇස්තමේන්තු ගතකොට තිබූ මුදල රුපියල් මිලියන 13.6 ක් වුණා.

ව්‍යාපෘතියට අනුව මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු වසර දෙකක් තුළ නිමකිරීමට නියමිත වූ අතර මේ වන විට ව්‍යාපෘතිය ආරම්භ කොට වසර හතරකට වැඩි කාලයක් ඉක්ම ගොස් ඇතත් මේ වන තෙක්ම එහි ඉදිකිරීම් අවසන් නොවීමෙන් ගැටළු රැසක් උද්ගතවී තිබෙනවා.

තමන් මුහුණ පා සිටින දුෂ්කරතාවය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශවාසීහු මෙසේ පැවසූවා.

නීල් ප්‍රියන්ත දිසානායක මහතා,

“මෙම මාර්ගය බදුල්ල නගරයේ සිට ඉඹුල්ගොඩ, වීරියපුර, රොක්හිල්, කඳන, බැද්දේගම, ස්ප්‍රිංවැලි වැනි ප්‍රදේශවලටත් ඉන් ඔබ්බට දෙමෝදර ප්‍රදේශයටත් යන අති විශාල ජනතාවක් භාවිතා කරනවා. මේ මාර්ගය දීර්ඝ කාලයක් තිස්සේ දැඩි ලෙස අබලන්වයි තිබුණ්. නගරයේ පාරවල් ටික විතරක් හැදුවට වැඩක් නෑ. නගරය පේන මානයේ තියෙන ගම්වල මිනිස්සු යන එන මේ පාර දැන් අවුරුදු හතරකට වැඩි කාලයක් මේ විදිහට අබලන්ව ඉදිකිරීම් අඩාලව තියෙනවා. මිනිස්සු යන්න එන්න පාරක් නැතිව දුක් විඳිනවා. මහ නගර සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු බලධාරීන් මේවට වග කියන්න ඕනෑ.”

නාමල් සංජීව මහතා:

“අයිරෝඩ් ව්‍යාපෘතිය යටතේ මේ පාර සංවර්ධනය කරන්න පටන් ගන්නකොට අපි හරි සතුටු වුණා. ඒත් සිදුවුණේ වෙන දෙයක්. තරමක් අපහසුවෙන් හෝ යා හැකිව තිබුණු පාර කඩලා කාණු බෝක්කු සේරම කඩලා විනාස කර දැමීම විතරයි සිද්දවුණේ. කඩපුවා හදන්න කලින් වැඩ අඩාල වුණා. දැන් අපිට අලුත් පාරත් නෑ. තිබුණු පාරත් නෑ. නිලධාරීන් කියන්නේ සල්ලි නැතිලු. රටේ සල්ලි පිල්ලි ගැහුවේ අපි නෙවේ.”

බදුල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී සුරංග සම්පත් රාජපක්ෂ මහතා,

“මේ ප්‍රශ්නය නිසා ජනතාවගේ දෝෂාරෝපණයට ලක්වෙන්නේ ගමේ මහජන නියෝජිතයින් වන අපියි. පාර හදන්න කියලා තිබුණු පාරත් කාණු බෝක්කු සේරමත් කඩා දැම්මා. දිය කඳුරු වහල දැම්මා. දැන් පාර කාණුවක් වෙලා. වැහිදාට පාර තනිකරම කඳුරක් වෙනවා. පාර පුරා මඩ වළවල්. පායන කාලෙට අවට ගෙවල් දූවිල්ලෙන් වැහෙනවා. ලෙඩරෝග පැතිරෙනවා. මේ වන විට අදාළ ඉදිකිරීම් සමාගම් කියන්නේ ඉක්මණින්ම ආපහු වැඩ ආරම්භ කරනවා කියලයි. ඒත් පහුගිය කාලයේ තිබුණු තත්වය බැලුවාම පොරොන්දු වලින් පමණක් ජනතාව සෑහීමකට පත්වෙන්නේ නෑ.  ඒ නිසා සැළසුම් කළ විදිහට ඉක්මණින් මේ පාර හදා දෙන්න කියලයි අපි වගකිවයුත්තන්ගෙන් ඉල්ලන්නේ.”

ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩ සටහනේ පළාත් අධ්‍යක්ෂක (වැඩ බලන) ලෙස කටයුතු කරන එම්.එම්.ජී.කේ. මුහන්දිරම් මහතාගෙන් මේ පිළිබදව ඒෂියන් මිරර් අපි විමසුවා.

“මෙම මාර්ගයේ මුල්ම කොන්ත්‍රාත් සමාගමේ ඇතිවූ ගැටලුවක් නිසා ඒ අය මාර්ගයේ වැඩ අතරමග දාලා යන්න ගියා. ඉන් පසුව නැවත වරක් දෙවන ටෙන්ඩරය ඉදිරිපත් කරමින් වෙනත් සමාගමකට මාර්ගයේ ඉදිකිරීම් කිරීමට භාර දුන්නා. ඔවුන් එහි වැඩ කටයුතු කරගෙන යන විටයි ආසියානු සංවර්ධන බැංකු ණය ලබාදීම නැවතුනේ. ඒ හේතුවත් එක්ක ඉදිකිරීම් සමාගමට ගෙවීම් කරන්න විදිහක් නැතිවුණා. ඒ හේතුවෙන් තමයි මේ මාර්ගයේ සංවර්ධනය නතර වුණේ. කොයි මොහොතේ හෝ මුදල් ලැබුනොත් අපි මාර්ගයේ වැඩ පටන් ගන්නවා.”

මාර්ග සංවර්ධන අධිකාරියේ නම සදහන් කිරීමට අකමැතිවූ උසස් නිළධාරියෙක් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළා,

“මෙම මාර්ග අතරමග නැවතීමත් එක්ක ජනතාවගෙන් දෝෂාරෝපණය එන්නේ RDA එකේ අපටයි. නමුත් මාර්ගය සංවර්ධනය කිරීම හෝ නඩත්තු කිරීමක්වත් අපට කල නොහැකියි. මේ ආකාරයේ මාර්ග ගණනාවක් අතරමග නවතා දමලයි තියෙන්නේ. මාර්ගයේ ජනතාවට ගමන් කල හැකි පරිදි නඩත්තු කටයුතු අපට කල හැකියි. එම නිසා කිහිප වරක්ම අයි රෝඩ් ව්‍යාපෘති නිළධාරීන්ගෙන් ඒ සදහා අවසර ඉල්ලුවත් එයට මේ වන තෙක් අපට ඉඩ ලබාදී නැහැ.”

බදුල්ල – ජයලත් දිසානායක