hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 02, ප.ව. 1:52



රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ ආහාර හිඟයක්ද ඇති වන බවට රජයද අනතුරු අඟවා තිබියදී කොස් අස්වැන්න අපතේ යන බවට කෘෂිකර්ම අමාත්‍යාංශය අනාවරණය කර තිබෙනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ මෙරට තුල වාර්ෂික කොස් අස්වැන්න කොස්ගෙඩි කෝටි 28 ක් බවත් එහෙත්, ඉන් පරිභෝජනය කරන්නේ කෝටි 8 ක පමණක් බවයි.

මේ අතර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් හෙක්ටයාර් 3000 ක් පමණ දිවයින පුරා පවතින අතර, එම ඉඩම් සියල්ලෙහිම කොස් වගා කර තිබෙනවා.

එබැවින්, එම රක්ෂිතවල ඇති කොස් ඵලදාව කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගස් යට විනාශ වී යන බැවින් එය ජනතාවට නෙලා ගත හැකි ආකාරයට බලපත්‍ර නිකුත් කිරීමටයි කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

මේ අතර දැනට භාවිතයට නොගන්නා රජයේ ඉඩම් වගා කිරීම සඳහා පමණක් තාවකාලික පදනම මත ජනතාව වෙත මුදා හැරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එමෙන්ම, ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට විසඳුම් ලෙස සමස්ත දිවයිනම ආවරණය වන පරිදි වගා සංග්‍රාමයක් ද ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

කෙසේ වෙතත්, වී ගොවීන් චෝදනා කරන්නේ තම වගාවන් සඳහා රසායනික පොහොර නොමැති බවටයි.

ඒ හේතුවෙන් යල කන්නයේ අස්වැන්න ද අඩුවන බවයි ගොවීන් චෝදනා කළේ.

මේ අතර, දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට අමතරව, නිවෙස්වල සිටින ගෘහණියන් ද ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණදීම සඳහා තම ගෙවත්තේම එළවළු වගා කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

එලවළු සහ වී වගාවන්වලට අමතරව, දිවයින පුරා මේ වනවිට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා අපනයන බෝග වගා කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: