hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ජනවාරි 07, ප.ව. 1:32



ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන තිබෙන බව ජාතික පුවත්පත් වාර්තා කරනවා.

දිනේෂ් ෂාෆ්ටර් සියදිවි නසා ගැනීමට දින පහකට පෙර එනම් දෙසැම්බර් 10 වැනිදාත් බොරැල්ල පොදු සුසාන භූමියේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ පෙර අත්හදා බැලීමක් කර ඇති බවද මෙතෙක් කරන ලද විමර්ශනවලින් සනාථ වී තිබෙනවා.

මේ බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ මාධ්‍යයට විවෘත නොවූ මහෙස්ත්‍රාත් පරීක්ෂණ සාක්ෂි විභාගයේ දී පවුලේ අයටද දැනුම් දී තිබෙනවා.

දිනේෂ් ෂාෆ්ටර් ඉකුත් දෙසැම්බර් 15 වැනිදා මෝටර් රථය තුළ ගෙල සහ දෙඅත් සිරවන ලෙස ගැටගසා තිබියදී බොරැල්ල කනත්තේ සේවකයකු හට හමු වී ජාතික රෝහලට ඇතුළත් කර පැය පහකට පසුව මරණයට පත් වුණා.

ඔහුගේ වාහනය නවතා තිබුණේ බොරැල්ල පොදු සුසාන භූමියේ ‘අනාථ පැත්ත’ ලෙස හඳුන්වන ප්‍රදේශයේයි.

ඔහුගේ ගෙල සිරවී තිබූ ඇන්ටනා කේබලයේ හා අත් සිරකර තිබූ ටයි කේබල් ඔහුට අයත් නිවසේත් තිබී රස පරීක්ෂක නිලධාරීන්ට හමු වූ අතර එය ඔහු මිලදී ගෙන තිබුණේ නිවසේ සේවකයකු මාර්ගයෙන්.

ෂාෆ්ටර් දෑත්වලට කේබල් ටයි දමාගෙන රියැදුරු අසුන උපයෝගී කරගෙන ඇන්ටනා වයරයෙන් ගෙල සිරකරගෙන ඇති බවත්, එකවර අවසන් හුස්ම නොගියේ ඔහු විසින්ම ගෙල සිරකරගත් නිසා බවත් හෙළි වී තිබෙනවා.

සියදිවි නසා ගැනීමට පෙර ඔහුගේ හැසිරීම් රැසක් සාක්ෂි සහිතව විමර්ශකයන් දැනටමත් සොයාගෙන ඇතැයි විමර්ශන ප්‍රධානියකු අනාවරණය කර තිබෙනවා.

ව්‍යාපාර කටයුතු නිසා ණය බර වැඩිවීමෙන් මානසික ආතතියෙන් (Depression) මොහු වෛද්‍ය ප්‍රතිකාර පවා ලබාගත් බව ප්‍රතිකාර කළ වෛද්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාක්ෂි ලබා දී තිබෙනවා.

මෙම සාක්ෂිවලට අමතරව භෞතික හා විද්‍යාත්මක සාක්ෂිද විමර්ශන සඳහා පදනම් කරගත් අතර මෙම අබිරහස් මරණය සම්බන්ධව ෂාෆ්ටර්ගේ බිරිය, නැන්දණිය ඇතුළු 84 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගත් අතර සී.සී.ටී.වී. කැමරා දර්ශන හතළිහකින් ෂාෆ්ටර්ගේ සියලු ගමන් මාර්ග පරීක්ෂා කර තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහගේ උපදෙස් මත මනුෂ්‍ය ඝාතන හා සංවිධාන්තමක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත යටතේ විමර්ශන ක්‍රියාත්මකයි.