hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 23, ප.ව. 8:34



ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ෂාෆ්ටර් මහතා ඝාතනයට ලක්ව මේ වන විට දින 07 ක් ඉක්මවා ඇතත් තවමත් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී නැහැ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා කියා සිටියේ මෙම විමර්ශන සඳහා කිසිදු බලපෑමක් එල්ලවී නොමැති බවයි.

ඝාතනයට ලක්වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා බොරැල්ල සුසාන භූමියට යාමට පෙර ගිය බව පැවසෙන අවන්හල ඔහු නිරන්තරයෙන් ආ ගිය තැනක් නොවන බවටද තොරතුරු වාර්තා වනවා.

අදාල අවන්හලේ ප්‍රකාශකයෙකුද සඳහන් කර තිබුණේ ෂාෆ්ටර් මහතා එදින පැමිණි බවට නිශ්චිතව හදුනාගැනීමට තරම් සමීප පාරිභෝගිකයෙකු නොවූ බවයි.

කොළඹ 07 මල්පාරේ පිහිටි සිය නිවසේ සිට ෂාෆ්ටර් මහතා බොරැල්ල සුසාන භූමිය වෙත ගමන්කරන අතරතුර මලලසේකර මාවතේ අවන්හලකින් පුද්ගලයින් දෙදෙනෙකුට ප්‍රමාණවත් කෙටි ආහාර මිලදී ගෙන ඇති බවට පසුගියදා අනාවරණ වුණා.

ඒ ඔස්සේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළ අතර අදාළ ආහාර මිලදීගැනීමට අවහන්හලට ගොස් ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් මහතාද එසේ නොමැතිනම් වෙනත් පුද්ගලයෙක්ද යන්න තහවුරු කරගැනීම සඳහා එහි සීසීටීවී කැමරා නොමැතිවීම බාධාවක් වී ඇති බවයි වාර්තාවන්නේ.

එහෙත් එම ආහාර මිලදී ගැනීම සඳහා ෂාෆ්ටර්ගේ බැංකු කාඩ්පත භාවිතකර ඇත්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින්ගේ අවදානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් අනාවරණ වුණේ දිනේෂ් ෂාෆ්ටර් මහතා කෙටි ආහාර සඳහා එතරම් ප්‍රියතාවක් නොදැක්වූ අයෙක් බවයි.