hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 දෙසැම්‍බර් 28, ප.ව. 7:22



ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව එහි ප්‍රගතිය සොයා බැලීම සඳහා පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න මහතා අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.

එහිදී පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජේෂ්ඨ පොලිස් නිලධාරීන් හමුවි උපදෙස් ලබා දුන් බව
ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඉකුත් 15 වැනි දින රාත්‍රී එංගලන්තය බලා පිටත් වීමට හෝරා කීපයක් තිබියදී ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේ අනාථ පැත්ත යැයි හඳුන්වන ප්‍රදේශයේ සිය මෝටර් රථය තුළ ගෙල සහ දෙඅත් සිරවන ලෙස ගැටගසා තිබූ අතර ඔහු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ දී පැය පහකට අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබුණා.

අදාල අභිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට ඔහුගේ බිරිඳ, නැන්දම්මා ඇතුළු පුද්ගලයන් 84 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර සීසීටීවී කැමරා දර්ශන 60 කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

ඊට අමතරව භෞතික හා විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන ද පරීක්ෂණ පැවැත්වෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.