hit counter

2026 සැප්‍තැම්‍බර් මස 04 වන සිකුරාදා

2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:15



පාසල් අධ්‍යාපනය අවසන් කරන ශ්‍රී ලාංකික තරුණයන් සඳහා ජපානයේ ට්‍රක් රථ රියැදුරු රැකියා අවස්ථා 1,000ක් පමණ ලැබී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා රැකියා ඒජන්සි සමාගම පවසයි.

එහි සභාපති ලාල් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, උසස් පෙළ අධ්‍යාපනය අවසන් කර වයස අවුරුදු 22 සම්පූර්ණ කළ තරුණයන්ට මෙම රැකියා සඳහා අයැදුම් කළ හැකි බවයි.

මෙම රැකියා සඳහා ජපන් භාෂා දැනුම මෙන්ම සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍රයක්ද අවශ්‍ය වන බව ඒ මහතා පැවසීය. එම සුදුසුකම් නොමැති තරුණයන්ට අවශ්‍ය පාඨමාලා සහ රියැදුරු පුහුණුව ලබාදීමෙන් අනතුරුව ජපානයට යොමු කිරීමටද කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

වයස අවුරුදු 22ත් 45ත් අතර තරුණයන්ට මෙම අවස්ථාව සඳහා අයැදුම් කළ හැකි අතර, SSW රැකියා කාණ්ඩය යටතේ අන්තර්ජාලය ඔස්සේද අයැදුම් කිරීමට හැකියාව තිබේ.

මේ බව ලාල් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ අතර, ශ්‍රී ලංකා විදේශ සේවා රැකියා ඒජන්සි සමාගමේ සාමාන්‍යාධිකාරී දර්ශන අබේරත්න මහතා සඳහන් කළේ, පාසල් අධ්‍යාපනය අවසන් කළ තරුණයන්ට ජපානයේ ට්‍රක් රථ රියැදුරු රැකියා සඳහා යොමුවීමට මෙමගින් අවස්ථාව සැලසෙන බවයි.

ජපන් භාෂා හැකියාව මෙම රැකියා සඳහා වැදගත් සුදුසුකමක් වන අතර, අවශ්‍ය තරුණයන්ට රාජ්‍ය බැංකු හරහා ණය පහසුකම් ලබාගැනීමේ හැකියාවද පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව, ජපානය සහ මැදපෙරදිග රටවල් ඉලක්ක කර ගනිමින් තවත් විදේශ රැකියා අවස්ථා රැසක් ක්‍රියාත්මක කර ඇති බවද එම සමාගම සඳහන් කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් තොටුපළ ඉදිකිරීම් සමාගමක රැකියා අවස්ථා 2,000ක් පමණද, සුපරීක්ෂක ඇතුළු ඉහළ තනතුරු සඳහා තවත් රැකියා 800ක් පමණද ලැබී ඇති බව එහි සභාපතිවරයා පැවසීය.

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෝහල් සමූහයක් සමඟ එක්ව BSc (Nursing) උපාධිධාරීන්ට කිසිදු වියදමකින් තොරව රැකියා ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර තිබේ.

ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ ICT ක්ෂේත්‍රය සඳහාද ශ්‍රී ලාංකික තරුණයන්ට පුහුණු සහ රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා විදේශ සේවා රැකියා ඒජන්සි සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: