hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 18, පෙ.ව. 10:06



රැකියා ලබාදෙන පවසා සංචාරක වීසා මත ඕමානයට ගෙන්වා ගන්නා මෙරට තරුණියන් සහ කාන්තාවන් එරටදී ලිංගික අපයෝජනයන්ට ලක්කිරීමේ ජාවාරමට කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන නිලධාරින් පිරිසක් ද සම්බන්ධ වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළි කරගෙන තිබෙනවා.

ඒ ඕමානයට ගොස් සිටින එම දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම අපයෝජනයට ලක්වූ කාන්තාවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීයි.

පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඕමානයේ ක්‍රියාත්මක මෙම ජාවාරම පිළිබඳ විමර්ශන ආරම්භ කළේ විදේශ අමාත්‍යංශය කළ දැනුම් දීමටකට අනුවයි.

මෙහිදී සංචාරක වීසා මත එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ගෙන්වා ගන්නා තරුණියන් සහ කාන්තාවන් ද දේශ සීමා හරහා ඕමානයට රැගෙන ගොස් එරටදී ලිංගික ක්‍රියාකාරකම්වල යොදවා මුදල් උපයාගෙන ඇති බව හෙළිවී තිබෙනවා.

මෙම කතුන් විදේශ රැකියා නියෝජිත ආයතන තුළ පෙළගස්වා වයස සහ පෙනුම මත කේවල්කර එරට හාම්පුතුන්ට මෙලෙස මුදලට අලෙවිකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මොවුන් කටුනායක ගුවන්තොටුපළෙන් පිටත් කර යැවීමේදී ආගමන විගමන නිලධාරින්ගේ සහය ලැබී ඇති බවටද හෙළිවී තිබෙනවා.

මෙම ජාවාරම පිළිබඳ පසුගිය දින කිහිපයේ මාධ්‍ය මඟින් කරුණු හෙළිකළ පසුබිමකද ඊයේ දිනයේදීත් 12 දෙනෙකුගෙන් යුතු පිරිසක් දේශසීමා හරහා ඩුබායි සිට ඕමානයට ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඔවුන් සම්බන්ධයෙන් සහ එම කාන්තාවන් මේවන විට රැදී සිටින්නේ කුමන ප්‍රදේශයේද යන්න හෙළිකර ගැනීම සඳහා ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් කටයුතු කරමින් සිටින බවටයි වාර්තා වන්නේ.

මෙම ජාවාරම සම්බන්ධ වූ මෙරට සිටින තැරැව්කරුවන් පිරිසකගේද තොරතුරු මේ වන විට හෙළි වී තිබෙනවා.

එසේම ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂිත නිවාසයේ සිටි කාන්තාවක් ලිංගික අතවරයකට ලක්කර ඇති බවට හෙළිවූ කරුණු මත එම කාර්යාලයේ තුන්වන ලේකම්වරයා මෙරටට කැඳවීමටයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගනු ලැබුවේ.

එම කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ප්‍රියන්ත සේනානායක මහතා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිකරගත් කරුණු මත ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමටද පියවර ගත් බවයි.

එමෙන්ම ඔහු සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය අභ්‍යන්තර පරීක්ෂණයක්ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

එසේම රැකියා සිහිනය බොඳවී ඕමානයේ හාම්පුතුන් අතින් අපයෝජනයට ලක්වූ කාන්තාවන් පිරිසක්ද ඕමාන තානාපති කාර්යාලයේ ආරක්ෂිත නිවස්නයේ මේ වන විට සිටින බවටද තොරතුරු හෙළි වුණා.

අප කළ විමසීමකදී ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ විවිධ හේතු මත පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවන් 76 දෙනෙකු මේ වන විට මෙම ආරක්ෂිත නිවස්නයේ රැදී සිටින බවයි.

ඔවුන්ව කඩිනමින් දිවයිනට පිටත්කර යැවීමට පියවර ගන්නා බවයි එම උසස් නිලධාරියා සඳහන් කළේ.