hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 25, ප.ව. 2:10



උතුරු මැද පලාතට අයත් ගල්කිරියාගම කිරළව මහවැලි රක්ෂිතයේ යම්කිසි පිරිසක් යන්ත්‍ර සූත්‍ර දමා හෙළි පෙහෙළි කරමින් තිබෙන බව ප්‍රදේශවාසීහු පවසනවා.

මෙම කණ්ඩායම් යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන එහි තිබූ වටිනා ගස් කොළන් විනාශ කිරීම ඊයේ (24) දවස පුරා සිදු වූ බවද මෙම වනාන්තරය එළි පෙහෙළි කිරීම නිසා එම ප්‍රදේශයේ රැඳී සිටින වන අලින් 100ක පමණ රංචුවකට වාසස්ථාන අහිමි වී ඔවුන් ගම් වැදීමේ දැඩි අවදානමක් පවතින බව ගම්වාසීන් පෙන්වා දෙනවා.

ඇතැම් රජයේ නිලධාරීන්ගේ ආශිර්වාදය මත කොළඹ ප්‍රදේශයේ සිට පැමිණි කණ්ඩායමක් මෙය බලහත්කාරයෙන් සිදු කරන බව ද ජනතාවට කියා සිටිනවා.

මෙම රජයේ රක්ෂිත ප්‍රදේශය හෙළි පෙහෙළි කිරීම පිළිබඳව සොයා බැලීමට අද (25) ඒෂියන් මිරර් කණ්ඩායම එම ස්ථානයට යන විට රක්ෂිතයේ තිබුණු වටිනා ගස් කොළන් රැසක් ඩෝසර් දමා විනාශ කොට තිබෙන අයුරු දැක ගැනීමට හැකි වී තිබෙනවා.

ගල්කිරියාගම කිරළව මහවැලි රක්ෂිතය මීට පෙර කාබනික පොහොර ව්‍යාපෘතියකට බව පවසමින් මේ ආකාරයෙන්ම අත්පත් කර ගැනීමට හිටපු අමාත්‍යවරයෙකු උත්සාහ දැරූ බවත් පසුව ගම්මුන්ගේ විරෝධය මත මෙම උත්සාහය අසාර්ථක වූ බව ද රටේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ ඉතා සූක්ෂම ලෙස මෙම කණ්ඩායම ගොවිතැන් කිරීමේ මුවාවෙන් රක්ෂිතය හෙළි කිරීමේ කටයුතු සිදු කරන බවද ජනතාව පෙන්වා දෙනවා.

මෙම ස්ථානයට ගිය අවස්ථාවේදී කොළඹ ප්‍රදේශයේ කිහිපදෙනෙකු වාහනවලින් එම රක්ෂිතයට පැමිණෙන අයුරු දැක ගැනීමට හැකි වූ බව අප කණ්ඩායම සඳහන් කළේ.

එම පිරිස් කියා සිටියේ මහවැලි අධිකාරිය මගින් තමන්ට මෙම රක්ෂිතයේ වගා වැඩසටහනක්  සඳහා අවසර ලබාදී ඇති බැවින් ඒ අනුව තමන් හෙළි පෙහෙළි කිරීම් කටයුතු සිදු කරන බවයි.

ප්‍රදේශවාසීන් කියා සිටියේ මෙම රක්ෂිතය හෙළි පෙහෙළි කිරීම නිසා තම ප්‍රදේශයේ වන අලින්ට ජීවත් වීමට ඇති එකම වාස භූමිය අහිමි වී ඇති බවයි.

මෙම රක්ෂිතයේ වන අලින්ට අමතරව අනෙකුත් කුරුල්ලන් සහ විවිධ සතුන් ජීවත් වන බවත් මිනිසුන් සහ එම වන සතුන් එක්ව මෙම ප්‍රදේශයේ ජීවත්වීම කාලයක පටන් සිදු කරගෙන එද්දී මහවැලි නිලධාරීන් ඉතා සූක්ෂම ලෙස මෙම වන ලැහැබ පිටස්තර පුද්ගලයන් සතු කර දීම බලවත් අසාධාරණ බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ.

මෙම වන විනාශයට විරුද්ධව හෙට (26) ප්‍රදේශවාසින් එක්ව විරෝධතාවයක් සිදු කරන බව කිරලව විහාරාධිපති හිමියෝ පවසනවා.

ගම්මුන් මෙම වන විනාශය පිළිබඳව මහවැලි අධිකාරියේ මඩාටුගම කාර්යාලයෙන් විමසීමේ දී සඳහන් කොට ඇත්තේ ඉහළින් ලැබුණු නියෝගයක් මත කොළඹ ප්‍රදේශයේ පුද්ගලයෙකුට මහවැලියට අයත් මෙම රක්ෂිතය ලබාදී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් මහවැලි  අධිකාරියේ කලාප භාර නේවාසික ව්‍යාපෘති කළමනාකරු අසංක ගුණතිලක මහතාගෙන් ඒෂියන් මිරර් කළ විමසීමේදී කියා සිටියේ විධිමත් බැහැර කිරීමේ ක්‍රමවේදයක් යටතේ මෙම රක්ෂිතය කෘෂිකර්ම, මහවැලි, ග්‍රාම සංවර්ධන සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා මහතා වෙත ලබා දී ඇති බවයි.

ඉඩම් කොටස කෘෂි කාර්මික කටයුතු සඳහා මහවැලි අධිකාරියෙන් වෙන්කොට ඇති ප්‍රදේශයක් බව ද හෙතෙම සඳහන් කළා.

කෙසේ වෙතත් මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සියලුම පාර්ශව වල එකඟත්වය පරිදි මහවැලි අධිකාරියේ සහ රජයේ නීති රෙගුලාසි යටතේ වගා ව්‍යාපෘතියක් සඳහා මෙම ඉඩම බැහැර කිරීම් කටයුතු සිදුකර ඇති නිසා එම කණ්ඩායම් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ඉඩම් හෙළි පෙහෙළි කිරීමේ කටයුතු සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.