hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 02, ප.ව. 1:43



කඩුවෙල මහ නගර සභාව අනුමත කරගෙන ඇති රුපියල් කෝටි 15කට වැඩි මුදලකින් යුත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති 105ක් නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබෙනවා.

මෙය බැලූ බැල්මට මැතිවරණ කාලසීමාව තුළ රජයේ මුදල් භාවිත කොට කඩුවෙල මහ නගර සභාවේ සභිකයන් ප්‍රවර්ධනය කිරීමට තැත් කිරීමක් ලෙස සලකන බවද කොමිෂන් සභාව කඩුවෙල නගරාධිපතිවරයාට දන්වා තිබෙනවා.

මෙම ව්‍යාපෘතිවලට අදාළ සියලු ප්‍රවර්ධන කටයුතු මැතිවරණය අවසන්වූ පසු ආරම්භ කරන ලෙසද මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයට දින නියම කර ඇති බැවින් කඩුවෙල මහ නගර සභාව කඩිනමින් අලුත්වැඩියා කිරීමට අපේක්ෂා කරන මාර්ග පිළිබඳව ඇස්තමේන්තුව, ආරම්භක දිනය හා ව්‍යාපෘති කාලසීමාව ඇතුළත් ලැයිස්තුවක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදී අනුමැතිය ලබාගන්නා ලෙසද සඳහන් කර ඇති බව වාර්තා වෙනවා.

කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපතිවරයා මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන මන්ත්‍රිවරුන්ගේ ඉල්ලීම මත රුපියල් කෝටි 15කට වැඩි මුදලකින් යුත් මාර්ග සියයකට වැඩි ප්‍රමාණයක් සංවර්ධනය කිරීම සඳහා මුදල් කමිටුව වෙත යෝජනාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන තිබෙන බවත්, මෙම ව්‍යාපෘති මඟින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බරපතළ හානියක් සිදුකරන බවත් සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ ස්වාධීන පරීක්ෂණයකින් අනතුරුව මෙම තීරණයට එළැඹ තිබෙනවා.

2023 වර්ෂය තුළ කඩුවෙල මහ නගර සභාව සම්මත කර ගන්නා ලද අය-වැය ප්‍රකාශනය සලකා බැලීමේදී මාර්ග සංවර්ධන කටයුතු සඳහා පුනරාවර්තන වියදම් රුපියල් මිලියන 254ක් හා ප්‍රාග්ධන වියදම් රුපියල් මිලියන 118ක් සමස්ත වර්ෂයට වෙන් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව එහිදී අනාවරණය කරගෙන තිබෙනවා.

මහ සභා රැස්වීමට මුදල් මණ්ඩලය  අනුමත කරන ලද මාර්ග සංවර්ධන වැඩ ලැයිස්තුවෙන් රුපියල් මිලියන 150කට වැඩි ව්‍යාපෘති ප්‍රමාණයක් මහා සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව තොරතුරු නිරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයිද, සමස්ත වර්ෂයේ මාර්ග සංවර්ධන වියදමින් සියයට පනහක ප්‍රමාණයක් සභාව විසින් කඩිනම් කිරීමට සූදානමක් පවතින බවට නිරීක්ෂණය වී ඇතැයිද කොමිසම පෙන්වා දෙනවා.

මේ අතර, කඩුවෙල නගරාධිපතිවරයා ඇතුළු පාලක පක්ෂය මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මහජනතාවට ව්‍යංගයෙන් අල්ලස් ලබාදීමේ වැඩසටහන් සංවිධානය කර ඇතැයි පෙන්වා දෙමින් නව ලංකා නිදහස් පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා (31) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මෙවැනි ක්‍රියාවලින් සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තු විය නොහැකි බව පෙන්වා දෙන පැමිණිලි පාර්ශ්වය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී මෙම දූෂණය නතර කරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.

කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපතිවරයා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන්ගේ අවශ්‍යතාවලට මහා සභාව තුළ විවිධ ව්‍යාපෘති අනුමත කරවාගෙන ඒ සඳහා මහජන බදු මුදල් යොදවමින් තිබෙන බවද පැමිණිල්ල මඟින් පෙන්වා දෙනවා.

මාර්ග සංවර්ධනය කිරීම සඳහා යැයි කියමින් ව්‍යාපෘති 105ක් අනුමත කරගෙන  මහජනතාවට ව්‍යංගයෙන් අල්ලස් ලබාදීමක් සිදුකරමින් යන බවත්, මෙම වැඩසටහන් නතර කිරීමට මැතිවරණ කොමිසමේ සාධනීය මැදිහත්වීමක් අපේක්ෂා කරන බවත් නව ලංකා  නිදහස් පක්ෂය වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

කඩුවෙල හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස, කඩුවෙල නාගරික මන්ත්‍රි බොසෙත් කලහෙපතිරණ ඇතුළු එම නගර සභාවේ මන්ත්‍රිවරු පිරිසක් මැතිවරණ  කොමිසමට මෙම පැමිණිල්ල භාරදී තිබෙනවා.