hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 9:21



අඩු ආදායම්ලාභීන් නිවාස ණය ලබා ගැනීම වෙනුවෙන් ගෙවන ලද මුදල් වංචාවේ යෙදුණු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කලුතර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් කීප දෙනෙකු එක්ව අපහරන කමිටුවේ අවසරයක් නොමැතිව ශ්‍රමදානයක් සිදුකරන මුවාවෙන් ණය අයකර ගැනීමට තිබෙන ලිපි ගොනු විශාල ප්‍රමාණයක් ගිනි තබා විනාශ කර ඇතැයි කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අතර මුදල් ලබා ගැනීමෙන් පසු පිටපතක් තබාගෙන රිසිට් පත් ලබා දුන් පොත් විශාල ප්‍රමාණයක් ඇතුළත්ව ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස කටයුතු කර ඇත්තේ අඩු ආදායම්ලාභීන් නිවාස ණය ගැනීම වෙනුවෙන් මුදල් වංචාවේ යෙදුණු කීප දෙනකු එක්ව සහ  රුපියල් ලක්ෂ 5 බැගින් උපහාර ණය ලබා ගත් ඇතැම් උසස් නිලධාරීන් කිහිපදෙනකු එක්ව බව දැනගන්නට තිබෙනවා.

එම වංචාකාරිය ගිනි තැබීමේ සිද්ධියට විගණන නිලධාරියෙක්, කළමනාකරුවෙක්, අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙක් ඇතුළු කීප දෙනෙක් සෘජුවම සම්බන්ධ ඇති බවට තතු දත් ආරංචි මාර්ග පවසයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කලුතර දිස්ත්‍රික් කාර්යාලය කළුතර දිස්ත්‍රික්  මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ පිහිටා තිබෙන බැවින් නිවාඩු දිනක (පෝය) දිනක එම කාර්යාලය විවෘත කරනවා නම් දිසාපතිවරයාගෙන් ලිඛිතව අවසර ලබා ගත යුතු බවට චක්‍රලේඛන නිකුත් කර තිබියදී, එම චක්‍රලේඛන නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින් කීපදෙනෙකුගේ වුවමනාවට සිදු කර ඇති මුදල් වංචාවක්  යටපත් කර ගැනීමේ අරමුණින් ශ්‍රමදානයක් සිදු කරන මුවාවෙන්  මුදල් අය කර ගැනීමට තිබෙන ලිපිගොනු මෙලෙස  විනාශ කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.          

එම ලිපි ගොනු රැගෙන යාම සඳහා සතොස ගබඩාවකින් පෝර උර අසූවක් පමණක් මිලදී ගෙන රුපියල් 9000ක මුදලකට ලොරි රථයක් කුලියට ගෙන මිල්ලනිය හෑගල්ල වත්ත නිවාස ගම්මානේ පිහිටි ගබඩාව වෙත රැගෙන ගොස් එයින් බහුතරයක් ලිපිගොනු සහ රිසිට්පත් පිටපත්  තිබෙන පොත් සැලසුම් සහගතව ගිනි තබා ඇති බව කාර්යාල ආරංචි මාර්ග කියයි.

එම කාර්යාලයේ  අභ්‍යන්තර තත්වය මෙසේ තිබියදී එම වංචාවන්ට සෘජුවම සම්බන්ධ ඇතැම් නිලධාරීන් වැඩ තහනමකට හෝ ස්ථාන මාරුවීම් වලට ලක් නොවී තම තනතුරේ අණසක ඒ අයුරින්ම දිස්ත්‍රික් කාර්යාලය පුරා පවත්වාගෙන යාම හේතුවෙන් සිදු වී ඇති රුපියල් කෝටි ගණන් මුදල්  වංචාවන් සම්  කරන සිදු කරන බව කියන පරීක්ෂණ මන්දගාමී අයුරින් විනිවිදභාවයකින් තොරව සිදු කෙරෙන බව දැනගන්නට තිබෙනවා.

මහා පරිමාණ මුදල් වංචාවේ පරීක්ෂණ සිදු කෙරෙන බවට ඒත්තු ගැන්වීමට මේ වන විට ලිපිකරුවන් දෙදෙනකුගේ සහ ලිපිකාරිනියන් දෙදෙනෙකුගේ පමණක්  වැඩ තහනමට ලක්කර මාස කීපයක් ඉක්ම ගියද කොම්පියුටර් ජිල්මාට් දැමූ ඇතැම් සේවයකයන් කොළඹට  ස්ථාන මාරු කර සේවයේ පිහිටුවීමට කටයුතු කිරීමට සැලැස්වීම මුදල් වංචාවේ මහමොළකරුවන්ගේ ඕනෑ එපාකම් මත සිදුවූවක්ද යන්න දැඩි සැකයක් හට ගෙන ඇති බව දුප්පතුන්ගේ මුදල් හොරා කෑමට විරුද්ධ නිහඬව අරගලයේ යෙදෙන සේවකයන් පිරිසක් වැඩිදුරටත් පැවසුවා.

බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන් ජයසිංහ