hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 24, ප.ව. 11:13



ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර පැවැත්වීම වෙනුවෙන්, පුරාණ චාරිත්‍රානුකූලව කප් සිටුවීම සඳහා කප කැපීම රාජ්‍ය වර්ෂ 2025 ක් වූ ඇසළ මස 24 වෙනි දින අලුයම යෙදුණු සුබ මොහොතින් සබරගමු පුරවරයේ ඓතිහාසික අළුත්නුවර දී සිදු කෙරිණ.

එය සිදු කෙරුණේ, මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ ප්‍රධානත්වයෙනි.

අලුත්නුවර, ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය වෙත හස්තිරාජයා පිට හේවිසි තූර්ය වාදන මධ්‍යයේ ගෙන ආ කප පුද පූජා පවත්වා, අනතුරුව පෙරහරින් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලය දක්වා රැගෙන එන ලදුව, එය පස්වරුවේ සිව්මහා දේවාල වෙත බෙද‍ාදෙනු ලබයි. ජූලි 25 වන දින පෙරවරුවේ එම දේවාලයන්හී කප් සිටුවා, අභ්‍යන්තර දේවාල පෙරහැර ආරම්භ කිරීමට නියමිතයි.

සියවස් 3 ක දුරාතීතයේ පටන් ඉටුකරනු ලබන මේ පෞරාණික චාරිත්‍රය, ‘කප’ යනුවෙන් හඳුන්වන්නේ කණුවයි. “කණුවක් සිටුවා කැපවෙමි” යන අර්ථයෙන් “කප් සිටුවීම” එදා සිට අද දක්වා චාරිත්‍රානුකූලව පවත්වාගෙන එයි.

මහනුවර ඇසළ පෙරහැර උදෙසා කප් සිටුවීමට සුදුසු නැකැත් ශ්‍රී දළදා මාලිගාව මඟින් පිළියෙල කර දෙන අතර, මහනුවර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන් විසින් කප් සිටුවීම සිදු කරති.