hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 21, පෙ.ව. 11:26



මහනුවර පොලිස් බල ප්‍රදේශයට අයත් අම්පිටිය, වැවතැන්න, පොල්වත්ත ප්‍රදේශයේ නිවසක තනිව ම සිටි කාන්තාවක ඊයේ (20) අලුයම එම නිවස කොල්ලකෑමට පැමිණි පිරිසකගෙන් අසීරුවෙන් දිවි බේරා ගෙන තිබෙනවා.

සිරියා නානායක්කාර නමැති සිද්ධියට මුහුණ පෑ 64 හැවිරිදි කාන්තාව සඳහන් කරන්නේ, එදින අලුයම් කාලයේ නිවසට ඇතුළු වී ඇති කොල්ලකරුවන් පිරිසක් තමා අල්ලා කටට රෙදි පාන්කඩ ඔබා ගැට ගසා පිහියක් ගෙළට තබා මරණීය තර්ජන කොට තමා ඝාතනය කිරීමට උත්සාහ කළ බවයි.

මර බිය හේතුවෙන් තමා කිසිදු හැලහොල්මනක් නොමැතිව සිටි බැවින් ඔවුන් නිවසේ තිබුණු සියලු ම වටිනා දෑ පැහැරගෙන පළා ගිය බව ඇය පවසයි.

නිවසේ තිබූ රත්‍රන් බඩු, මුදල්, ගෑස් ළිප, ගෑස් සිලින්ඩරය, රෙදි හෝදන මැෂිම මෙන් ම ඉතා වටිනා පෞරාණික භාණ්ඩ රැසක් කොල්ලකරුවන් රැගෙන ගිය බව ද ඇය සඳහන් කරනවා.

මහනුවර හා අවට ප්‍රදේශයන්හි නිවෙස් තුළ තනිව ම සිටි කාන්තාවන් තිදෙනෙකු කොල්ලකරුවන් ඝාතනය කොට තිබූ අතර මෙම සිද්ධියට මුහුණ පෑ කාන්තාවගේ සියලු ඥාතීන් විදේශගතව සිටින අතර ඇය පමණක් තනිව ම මෙම නිවසේ වාසය කොට තිබෙනවා.

අම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මහනුවර ගඟවටකෝරලය ප්‍රාදේශීය සභා මන්ත්‍රී චමින්ද සේනාරත්න මහතා සඳහන් කළේ, මේ වන විට අම්පිටිය ප්‍රදේශයේ නිවාස රැසක් බිඳ වටිනා දෑ සොරකම් කිරීම්, ත්‍රිරෝද රථ පැහැර ගැනීම්, දිවා කාලයේ කොල්ලකෑම් හා පහරදීම් විශාල වශයෙන් සිදුව ඇති බවයි.

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ කණ්ඩායමක් මෙම සොරකම් සිදු කරන බවත් මේ සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසියට කොතෙක් පැමිණිලි කළ ද නිසි පියවරක් ගෙන නොමැති බ වත් එබැවින් මෙම පවතින භයානක තත්ත්වය පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා දැනුවත් කිරීමට පියවර ගත් බව ත් ඔහු සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.