hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 21, පෙ.ව. 10:41



කිසියම් පිරිසක් මහනුවර ජාතික රෝහලේ අණුක වෛරස්වේදී රසායනාගාරයේ දොරටු කිහිපයක් කඩා රසායනාගාර පරිශ්‍රයට ඇතුල්වීම සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.                                                   

පෙරේදා (19) රාත්‍රී කාලයේ මෙම සිදුවීම සිදුව ඇති බවට සැක කරන අතර අදාළ දිනයේ මෙහි ආරක්ෂක නිලධාරියාද සේවයට වාර්තා නොකිරීම පිළිබඳවද පොලිසිය පරීක්ෂණ පවත්වයි.                                   

කොරෝනා ඇතුළු අනිකුත් සියලු අණුක ජීව රසායන පරීක්ෂණ මෙහි සිදුවන බවත් ඒ සඳහා අවශ්‍ය ඉතා අධික මිලකින් යුත් රසායනික ද්‍රව්‍ය හා ඒ සඳහා භාවිතා කරන උපකරණ හා විවිධ රසායනාගාර වාර්තා මෙම පරිශ්‍රයේ ගබඩා කොට ඇති බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවා.                                                                                      

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය කිරීමේ සායනය කලකට ඉහතදී මෙම ස්ථානය ආශ්‍රීතව පවත්වාගෙන ගොස් ඇති අතර මේ වන විටද මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් එම සායනයේදී ලබාදුන් ඇතැම් ඖෂධ වර්ග ඉල්ලා මෙම ස්ථානයට පැමිණෙන බව රසායනාගාරයේ කාර්ය මණ්ඩලය පවසයි.                                                     

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් එම ඖෂධ සොයා මෙම දොරවල් කඩා දැමුවේද, මේ වන විට සොයා ගැනීමට පවා නොමැති ඉතා අධික මිලකින් යුත් රසායනික ද්‍රව්‍ය සොයා මෙම දොරවල් කැඩුවේද , එසේත් නැත්නම් වෙනත් කාරණාවක් උදෙසා දොරවල් කඩා යමක් සොරකම් කළේද යන්න පිළිබඳව මේ වන විට මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.

මහනුවර – කමල් සුරවීර