hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 26, පෙ.ව. 10:30



අධික වර්ෂාවත් සමඟ මහනුවර, අකුරණ දුනුවිල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් සමඟ ගල් පර්වතයක් කඩා වැටීමෙන් අවුරුදු 16 හා 18 වයසේ පසුවූ එකම පවුලේ සහෝදරයෙකු හා සහෝදරියක මියගොස් තිබෙනවා.

මෙසේ අවාසනාවන්ත අයුරින් මියගොස් ඇත්තේ සිතුම් සාරංග විතාරණ හා අයේෂා නිසාලි විතාරණ නැමැති අය බවද ඊයේ (25) පෙරවරුවේ මෙම නාය යෑම සිදුව ඇති බවද පොලීසිය සඳහන් කළා.

සිද්ධියෙන් මියගිය දෙදෙනාගේ මව, පියා හා 12 හැවිරිදි නැගණිය තුවාල ලැබ රෝහල් ගතකර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පෙරේදා (24) පස්වරුවේ සිට අඛන්ඩව පැය 12 ක පමණ කාලයක් ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් අකුරණ නගරය, මහනුවර දුම්රිය ස්ථානය, දෙයියනේවෙල, සුදුහුම්පල, බෝගම්බර, මහයියාව, බෝගම්බර ක්‍රීඩාංගණය ඇතුළු ස්ථාන රැසක් ජලයෙන් යටවුණා.

අකුරණ නගරය අඩි 10 ක පමණ උසකට ජලයෙන් යටවූ අතර මාර්ගය අයිනේ නතර කර තිබූ වාහන හයක් පිඟාඹයේ ගසාගෙන ගොස් තිබෙන අතර මහනුවර දෙයියනේවෙල ප්‍රදේශයෙන් මැද ඇල උතුරා යාම හේතුවෙන් තවත් වාහන පහක් පමණ ඔයේ ගසාගෙන ගිය බව ප්‍රදේශවාසීන් සඳහන් කළා.

පිඟාඹය හරස්කර සිදුකර තිබෙන අනවසර ඉදිකිරීම් හේතුවෙන් අධික වර්ෂාවත් සමඟ අකුරණ නගරය ජලයෙන් යටවීම සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව තිබෙනවා.

අකුරණ නගරයේ වෙළෙඳ සැල් සියයකට අධික සංඛ්‍යාවක් ජලයෙන් යටවීම නිසා සිදුව තිබෙන පාඩුව රුපියල් කෝටි ගණනක් බවයි වාර්තා වන්නේ.

මහනුවර – යාපනය ඒ 09 මාර්ගය අකුරණ නගරයෙන් අඩි 10 ක් පමණ උසකට යටවීමෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය පැය ගණනාවකට අත්හිටවූ බව පොලීසිය කියා සිටියා.

අකුරණ නගරයේ ජලය බැසයාම සඳහා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කිරීමට මහවැලි අධිකාරිය පියවර ගනු ලැබුවා.

මහනුවර දුම්රිය ස්ථානය ආශ්‍රිත ප්‍රදේශය ද ජලයෙන් යටවීම නිසා දුම්රිය ගමන්වාර අත්හිටුවීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබුණා.

මැදඇල උතුරා යෑම නිසා දෙයියනේවෙල , සුදුහුම්පොල ආශ්‍රිත ප්‍රදේශයේ නිවාස හා වාහන රැසක් ජලයෙන් යටවී තිබූ බව අප වාර්තාකරු පැවසුවා.