hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 26, ප.ව. 8:55



ඇප ලබා ගැනීමෙන් අනතුරු ව දැනට ඉන්දියාවට පලා ගිය බවට වාර්තා වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් විදෙස්ගත ව සිට යළි මෙරට අපරාධවලට සම්බන්ධ වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව, ඔහු මෙරට පාතාල සාමාජිකයන් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී විවිධ අපරාධ සහ ජාවාරම් සිදු කරන බවට යි පොලීසිය හෙළි කරගෙන ඇත්තේ.

පසුගිය දා ඔහුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම වූ අතර, පසු ව ඔහු ඉන්දියාවට පලා ගිය බවට තොරතුරු වාර්තා වුණා.

පසුගිය 4 වැනි දා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම් සහ ඒ සඳහා ආධාර අනුබල ලබාදීම යන චෝදනා යටතේ කංජිපානි ඉම්රාන් ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකුට එරෙහි ව පවරා තිබූ නඩුවක් අද (26) කැඳවූ අවස්ථාවේ දී කොළඹ අපරාධ කොට්ඨාශය ද අධිකරණයට දැනුම් දුන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් රහසිගත ව විදෙස්ගත වී ඇති බව යි.