hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 19, ප.ව. 2:11



කංසා හෙවත් ගංජා මිශ්‍ර මදනමෝදක අත්අඩංගුවට ගැනීමට පොලිසියට කිසිදු බලයක් නොමැති බවට ප්‍රකාශ කළ අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (18) කංසා හෙවත් ගංජා මිශ්‍ර මදනමෝදක ගුළි විසිදෙකක් ළඟ තබාගෙන සිටි විත්තිකරුවකු නිදහස් කිරීමට නියෝග කළා.

පල්ලෙවෙල ප්‍රදේශයේ පදිංචි යාපා බණ්ඩාර නමැත්තෙකු එසේ නිදහස් කෙරුණා.

කංසා හෙවත් ගංජා මිශ්‍ර මදනමෝදක ගුලි 22ක් ළඟ තබා ගෙන සිටි බවට චෝදනා කරමින් පල්ලෙවෙල පොලිසිය විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා ඔහු ඊයේ (18) අධිකරණයට ඉදිරිපත් කළා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් ආයුර්වේද පනතට අනුව කංසා හෙවත් ගංජා ඇට හා කොළ නොමැතිව මදනමෝදක නිෂ්පාදනය කළ නොහැකි බව කියා සිටියා.

මේ අනුව කංසා හෙවත් ගංජා මිශ්‍ර මදනමෝදක විකිණීම හා ළඟ තබා ගෙන සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසියට කිසිදු බලයක් නොමැති බවද ප්‍රකාශ කරමින් එසේ විත්තිකරු නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

අත්අඩංගුවට ගෙන ඇති මදනමෝදක ගුලි විසිදෙකද නිදහස් කරන ලද පුද්ගලයාට මුදා හැරීමට ද නියෝග කෙරුණා.

එවැනි වැටලීමක් කරනවා නම් ආයුර්වේද කොමසාරිස්වරයා බලය පවරන ලද පිරිසකට හැර පොලිසියට බලයක් නොමැති බවද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියා.