hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 27, පෙ.ව. 5:01



ගාල්ල දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයින් විශාල පිරිසකට ඉන්ධන ලබා ගැනිමට නොහැකි විම නිසා අගහරුවාදා (28) සිට කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු රෝහල් හා සෞඛ්‍ය ආයතනවල හදිසි සේවා පමණක් පවත්වා ගෙන යාමට කටයුතු කරන අතර අනිකුත් සියලු සෞඛ්‍ය සේවා පවත්වා ගෙන යාමට නොහැකි තත්වයක් උදාවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල කරාපිටිය ශාඛාව පවසනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ඉන්ධන නිකුත් කිරිමේ දි තිබු දුර්වල හා අවිධිමත් බව  හේතුවෙන් වෛද්‍යවරු හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයින්ගෙන් 20%ක ප්‍රමාණයකටවත් සිකුරාදා (25) ඉන්ධන ලබා ගැනිමට නොහැකි වු බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව පවසයි.

මෙවන් පසුබිමක් තුල ඉන්ධන නොමැතිකම නිසා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තම සේවාවන් පවත්වාගෙන යාමට නොහැකිව දැඩි අසරණ තත්වයට පත්ව ඇති බවද වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල කරාපිටිය ශාඛාව පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ නම් කරනු ලැබු ඉන්ධන පිරවුම්හල් 04ක් මගින් ඉන්ධන ලබා ගැනිමට යාමේ දි වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සේවකයින් සදහා පැය12ත් 24ත් කාලයක් පෝලිම්වල කාලය ගතකිරිමට සිදු වු බවද කරාපිටිය ශාඛාව පවසයි.

සිකුරාදා දින මෙම ඉන්ධන පිරවුම්හල් හතර මගින් ඉන්ධන නිකුත් කිරිම සෞඛ්‍ය කාර්යමණ්ඩල සදහා පමණක් බවට දැනුවත් කොට තිබුනද එම පිරවුම්හල් 4 මගින් අනෙකුත් අත්‍යවශ්‍ය සේවා හා සාමාන්‍ය රථවාහන සදහාද ඉන්ධන නිකුත් කිරිමට කටයුතු කර තිබු බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් හා අනිකුත් සෞඛ්‍යය වෘත්තිය සංගම් මහත් පරිශ්‍රමයක් දරා ලබා ගත් මෙම පහසුකම් හරහා අහිංසක රෝගින්ගේ ජිවිත රැකගැනිම සදහා වන පරිශ්‍රමය දිය කර හැරිමට පරිපාලනය කටයුතු කරමින් සිටින බවද වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව පෙන්වා දෙනවා.

වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ඉන්ධන ලබා ගැනිමට සියලු පාර්ශව එක්කොට ගත් විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරිමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා වෙත ද මේ පිළිබද ලිඛිතව දැනුම් දි තිබෙනවා.

ගාල්ල – ලලිත් චාමින්ද