hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 6:56



බිල්පත් ගෙවීම ප්‍රමාද වීම, අයහපත් කාලගුණික තත්වය ඇතුළු විවිධ හේතුන් නිසා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂ ප්‍රථිකාර සහ මුඛ සෞඛ්‍ය යන ඒකක සදහා ගොඩනැගිලි ඉදිකිරිමේ ව්‍යාපෘතිවල ඉදිකිරිම් කටයුතු ප්‍රමාද වී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු 2019 වර්ෂයේ ජූනි මස අවසන් කළ යුතුව තිබුණා.

ඉදිකිරිම් නිමකිරීමට අපේක්ෂිත දින සිට වසර තුනකට වැඩිකාලයක් ගතවී ඇතත් මේ දක්වා මෙම ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු අවසන් කිරීමට නොහැකි වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති මෙම විගණන වාර්තාවේ සදහන් වෙනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් 1,793,100,000ක්.

මෙහි ඉදිකිරිම් කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යංශයට ප්‍රාදනය කර තිබුණා.

2021 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින වන විට මෙම ඉදිකිරිම් වල භෞතික ප්‍රගතිය පිලිවෙලින් සියයට 22ක් හා සියයට 34.5ක් වී ඇති බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

එදිනට ඉදිකිරිම් කටයුතු සදහා දරා ඇති වියදම රුපියල් 836,416,439ක් බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

ගොඩනැගිලි ඉදිකිරිමේ ව්‍යාපෘතිවල ඉදිකිරිම් කටයුතු අපේක්ෂිත කාලය තුල  සම්පුර්ණ කරගත නොහැකිවීම හේතුවෙන්  වියදමේ වෙනස්විම්, ඉදිකිරිම් සදහා හානි සිදුවිම, අපේක්ෂිත අරමුණු ළගා කරගැනීම ප්‍රමාදවීමට හේතු විය හැකි බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

එමෙන්ම සේවා අපේක්ෂාවෙන් සිටි මහජනතාවට සේවා සලසා ගැනිම ප්‍රමාද විම මෙන් රටේ ආර්ථික ඉදිරි ගමනට එය දැඩි බලපෑමක් බවද විගණන වාර්තාවේ තවදුරටත් සදහන් වෙනවා.

මේ පිළිබද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය  එස්.පි.යු.එම්.රංග මහතාගෙන් ඒෂියන් මිරර් අප කළ විමසුමකදි මෙසේ සඳහන් කළා.

“ළමා හා මුඛ වාට්ටු සංකිර්ණයේ හා වෛද්‍ය වාට්ටු සංකිර්ණවල ඉදිකිරිම් කටයුතු දැනට මාස පහ හයක සිට නතර වෙලා තියෙනවා. පවතින ආර්ථික අර්බුදය නිසා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ප්‍රාග්ධන වියදම් කරන්නේ නැහැ.  ඒ නිසා තමයි මෙම ව්‍යාපෘතිවල කටයුතු නතර වී ඇත්තේ.”

ගාල්ල – ලලිත් චාමින්ද