hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 02, පෙ.ව. 5:31



දැනට පවතින ඖෂධ හිඟය මෙම වසරේ පළමු කාර්තුව තුළදී බිංදුවට බස්සන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවා.

ජනපතිවරයා මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයට විශාල ලෙස මුදල් වෙන්කර දී තිබෙන බවත් ඉන්දියානු ණය ආධාර මෙන්ම ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජත්යන්තර සංවිධාන රැසක් මෙරට ඖෂධ ගැටලුව විසඳා ගැනීමට අවශ්‍ය සහය ලබාදෙන බවත් ඒ මහතා සඳහන් කළා.

ඖෂධ නොමැතිව රෝහල් වල රෝගීන් මියයන තෙක් බලා සිට එය වාසියට හරවා ගනිමින් දේශපාලනය කරන්නට බලා සිටින පිරිසක් රටේ සිටින බවත් ඔවුන් සෑම විටම උත්සහ කරන්නේ ඖෂධ ආනයනකරුවන් අධෛර්මත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ ආනයන වැඩපිළිවෙළ අවුල් කිරීමට බවත් සෞඛ්ය ඇමැතිවරයා පැවසුවා.

මහනුවර දී මාධ්‍ය හමුවක දී රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළා.

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 183 ක් ආනයනය කිරීමට ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේ ඉදිරිපත් වූයේ සමාගම්  තුනක් පමණක් බවත් ඔවුන් ද මාසයකට පසුය එම ක්‍රියාවලියෙන් ඉවත් වූ බවත් ඇමැතිවරයා සඳහන් කර සිටියා.

රජය ඖෂධ සමාගම් වලට රුපියල් බිලියන 15 ක්ද රාජ්‍ය බැංකු දෙකකට රුපියල් බිලියන 16 ක්ද තවත් ගෙවීම් ඇතුළුව බිලියන 52 ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යංශය ණය ගෙවීමට තිබෙන බවත් මෙම සත්ය ඇති සැටියෙන් රටට පැවසූ විට ඇමැතිවරයා ඖෂධ ආනයන සමාගම් බය කරන්නට නොයෙක් උප්පරවැට්ටි යොදන බවට පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජාගොඩ වැන්නන් ප්‍රකාශ කරන බවත් කී ඒ මහතා තමන් කිසි විටෙකත් සත්ය වසන් කර කටයුතු නොකරන බවද අවධාරණය කළා.

බෙහෙත් නොමැතිව රෝහල් වල රෝගීන් මියයන තත්ත්වයක් රටේ ඇති කර ඒ මතින් දේශපාලනය කරන්නට උත්සහ කරන අය රටේ සිටින බවද ඇමැතිවරයා පැවසුවා.

ඉන්දියානු ණය ආධාර ලෙස මෙරටට ලැබුණු මුදලින් සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කළ රුපියල් බිලියන 300 ක මුදලින් මේවන විට  භාවිත කර තිබෙන්නේ බිලියන 104 ක් පමණක් බවත් ඉතිරි මුදල් වැයකර ඉන්දියාවෙන් ඖෂධ ලබා ගැනීමට ලබා දී තිබූ කාලය පසුගිය නොවැම්බර් 30 වැනි අවසන් වීමෙන් පසු තමන් මැදිහත්ව එය දෙසැම්බර් 30 දක්වා දීර්ඝ කරගත් බවත් පැවසූ රඹුක්වැල්ල මහතා යළිත් වතාවක් එය දීර්ඝ ගැනීමේ අවශ්‍යතාවයක් පැන නැගීම හේතුවෙන් තමන් පසුගිය දිනක ඉන්දියාව වෙත ගොස් නිසි සැළැස්මක් ඉදිරිපත් කර ලබන මාර්තු මස දක්වා එය දීර්ඝ කරගත් බවද ප්‍රකාශ කළා.

එම ගමන සඳහා ගුවන් ටිකට් පත තම පෞද්ගලික මුදලින් ලබාගත් බවත් මහ බැංකුව පනවා තිබෙන නීති අනුව විදේශ රටවල් හා කරන ගනුදෙනු වලදී කෙඩිඩ් කාඩ්පත මගින් ගෙවීමට හැකි වන්නේ රුපියල් 140000 ක් පමණක් බවත් කී ඒ මහතා මේ නිසා ඉන්දියානු මිතුරෙකු මගින් අදාළ ගමන සඳහා අවශ්යය හෝටල් බිල ගෙවූ බවද අවධාරණය කර සිටියා.

එම මිතුරා කිසිදු ආකාරයකින් ඖෂධ ආනයන හෝ අපනයන ක්ෂේත්රයට සම්බන්ධ වූවෙකු නොවන බවත් ඉන්දියාවට ගිය විගස එම මුදල් තමන් ඔහුට ලබාදුන් බවත් ඇමැතිවරයා පැවසුවා.                        

කෙසේ වුවද හාල්, පොල්,සීනි මිලදී ගන්නා ආකාරයෙන් ක්ෂනිකවම ඖෂධ ලබා ගත නොහැකි බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මහනුවර – කේ .එල් .සුරවීර