hit counter

2026 නොවැම්‍බර් මස 16 වන සඳුදා

2026 නොවැම්‍බර් 16, ප.ව. 12:33



ලාෆ්ස් ගෑස් මිල පහත දැමීම සම්බන්ධයෙන් අද (16) පස්වරුව වන විට නිල නිවේදනයක් නිකුත් කරන බව එම සමාගමේ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ.

අද පෙරවරුවේ ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණි අවස්ථාවේදී, එහි රැස්ව සිටි විරෝධතාකරුවන් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කරන ලද දැනුම්දීමකට අනුව සමාගමේ නිලධාරීන් මෙලෙස කැඳවා තිබිණි.

ඒ අනුව, අද (16) පෙරවරු 10.00ට පමණ සමාගමේ නියෝජිතයන් පිරිසක් අදාළ කරුණු ඉදිරිපත් කිරීම සඳහා අධිකාරිය වෙත පැමිණ තිබේ.

පසුගිය 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට සමාගම පියවර ගෙන තිබිණි.

ඒ අනුව, රුපියල් 4,965ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දැමීමත් සමඟ එහි නව මිල රුපියල් 6,740ක් දක්වා ඉහළ ගියේය.

එමෙන්ම, රුපියල් 1,988ක්ව පැවති කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 732කින් ඉහළ නංවා ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 2,720ක් ලෙස සටහන් විය.  

මෙලෙස ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව අතර විරෝධයක් මතුව ඇති පසුබිමක, මිල පහත දැමීම පිළිබඳව සමාගම අද පස්වරුවේ නිකුත් කිරීමට නියමිත නිවේදනය සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමුව තිබේ.