hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 18, ප.ව. 5:01



ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ගල්නෑව සිරිධම්ම හිමියන්ට අධිපෝෂණ පිටි වර්ගයක් හා පස්පංගුව පැකට් මිල දී ගැනීමට අධිකරණ නිලධාරියකුට රු.10,000ක මුදලක් දීමෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය සැකකරුවන්ට පක්ෂග්‍රාහී ලෙස ක්‍රියා කළ බවට කරුණු ඇති බැවින්, අදාළ නඩුව වෙනත් විනිසුරුවරයකු වෙත යොමු කරන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා එම මහේස්ත්‍රාත්වරිය හමුවේම කරුණු දක්වමින් ඊයේ (17) ඉල්ලා සිටියා.

අදාළ ඉල්ලීම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ සිදු කරනවාත් සමඟම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පැමිණිලි පාර්ශ්වය වෙත උස් හඬින් කෑකෝගසා අධිකරණය දෙවනත් කරමින් එකිනෙකාට වාග්ප්‍රහාර එල්ල කරගනිමින් හැසිරෙනු දක්නට ලැබු බව පුවත්පත් වාර්තා කරනවා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ වසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමියන්ට එරෙහි නඩු විභාගයේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා මේ බව සඳහන් කරමින් අදාළ නඩුවේ දෙවන සැකකරු වන සිරිධම්ම හිමියන්ට මෙසේ අධිපෝෂණ පිටි වර්ගයක් මෙන්ම පස්පංගුව පැකට් පහක් මිල දී ගැනීම සඳහා රු.10,000ක මුදලක් අධිකරණ නිලධාරියකුට දී අදාළ ද්‍රව්‍ය ලබා දී ඇති බවට කොළඹ ත්‍රස්ත විමර්ශන නිලධාරීන් කිහිප දෙනකු දිවුරුම් ප්‍රකාශ මඟින් අධිකරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කර ඇතැයි සඳහන් කළ සොලිසිටර් ජනරාල්වරයා මේ නඩුව මහේස්ත්‍රාත්වරිය හමුවේ විභාගයට නොගෙන වෙනත් විනිසුරුවරයකු වෙත යොමු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

2022/11/17 සිට 2022/11/22 දක්වා කාල සීමාව තුළදී සිදු වූ සිදුවීම් ක්‍රියාවලියක් සම්බන්ධයෙන් කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරි වසන්ත රත්නායක, ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල හේමන්ත හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න ද අල්විස් යන මහත්වරු විසින් පොලිස්පති හරහා දිවුරුම් ප්‍රකාශ ලබා දෙමින් මහේස්ත්‍රාත්වරිය සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා ඇති බවත් සඳහන් කළා.

“අපි හැමෝම වෙනුවෙන් අරගලය කළා, අපේ අත් දෙක බැඳලා, ඇප ඉල්ලිය නොහැකි චෝදනා දමලා ඇප ප්‍රතික්ෂේප කරලා ඇති බව මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට පැවසූ බවත් 2022/11/23 දින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ “අදත් ආවරණ සහිතවද සැකකරු ඉදිරිපත් කරන්නේ, ඔය පෙරට්ටුව අවසන් නැද්ද? මේ දරුවාට ඇප දීලා යවන්න.“ ආදි ප්‍රකාශ මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරුවන් ඉදිරිපත් කරන අවස්ථාවේදී සිදු කර ඇති බවට දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වන බවට දිලිප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු සඳහන් කළා.

මෙහිදී කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මේ ඉල්ලීමට තරයේ විරුද්ධ වන බවත් අදාළ ඉල්ලීම සිදු කිරීමට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 46, 47 වගන්ති ප්‍රකාරව නීතිපතිවරයා අයිතිය ඇති වුවත් ඒකපාර්ශ්විය ඉල්ලීම සඳහා ඉඩ නොදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

නීතිය අනුව නඩුව මාරු කිරීමේ හැකියාව තිබියදී දිවුරුම් ප්‍රකාශ මඟින් එය ඉටු කිරීමට කටයුතු කිරීම අධිකරණය බිය ගැන්වීමක් සහ එහි ස්වාධීනත්වයට ප්‍රහාරයක් බවත් කීය. මහේස්ත්‍රාත්වරිය ගැන කරන පැමිණිල්ල විවෘත අධිකරණය හමුවේ භාජන නොවිය යුතු බවත් විමර්ශනය අවසන් කිරීමට ඇය උපදෙස් දී තිබූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා සඳහන් කළා.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ සාක්කි නිසි ලෙස ගොනු වී නොතිබූ නිසා සාක්කි සම්පිණ්ඩන වාර්තා ගොනු කර සුබවාදී ලෙස විමර්ශන අවසන් කරන ලෙස තමා පැවසූ බවත් ස්වාමීන් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී තිබුණු හෙයින් සත්භාවයෙන් මේ දේ සිදු කළා විනා සැකකරුවන් කෙරෙහි විශේෂත්වයක් දැක්වූයේ නැති බවත් පැවසුවා.

ඒ අවස්ථාවේදී නිලධාරීන් සිටි බවත් පැවසුවා.

මේ ඉල්ලීම අධිකරණයට බලපෑම් කිරීමක් නොවන බවත් අධිකරණ කොමිෂන් සභාව හරහා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා තිබෙන බවත් දිලිප පීරිස් මහතා කියා සිටියා.

නීතිපති මේ ඉල්ලීම අභියාචනාධිකරණය හමුවේ සිදු කළ යුතු බවත් මේ ක්‍රියා සිදු වූ කාලපරාසය තුළ කිහිපවතාවක් අධිකරණයේ නඩුව කැඳවා තිබුණත් මීට පෙර මෙවැනි ඉල්ලීමක් සිදු කර නැති බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කළා.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් දිවුරුම් ප්‍රකාශ ඉල්ලා පරීක්ෂා කර අනතුරුව විවෘත අධිකරණයේ කරුණු දක්වන ලෙස පැමිණිල්ලට නියෝග කළා.

ඒ අනුව සිය දේශනය ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා පිටු 6ක වැඩිදුර වාර්තාවක් හා පිටු 7ක් රහස් දිවුරුම් ප්‍රකාශ අධිකරණය වෙත ගොනු කරන බව සඳහන් කළා.

අනතුරුව දිවුරුම් ප්‍රකාශයන්හි අඩංගු කරුණු කිහිපයක් වන දෙවන සැකකරු වන සිරිධම්ම හිමියන්ට මෙසේ අධිපෝෂණ පිටි වර්ගයක් මෙන්ම පස්පංගු පැකට් පහක් මිලදී ගැනීමට රුපියල් 10,000ක මුදලක් අධිකරණ නිලධාරියකුට දී අදාළ ද්‍රව්‍ය ලබා දී ඇති බවට හා රැඳවුම් නියෝග මත සිටි සැකකරුවන්ට පක්ෂග්‍රාහී ලෙස කරුණු දැක්වීම ගැන සඳහන් කළා.

මෙහිදී දෙපාර්ශ්වය විසින් නැවතත් අධිකරණය දෙවනත් කරමින් එකිනෙකා වාග් ප්‍රහාර එල්ල කර ගනු ලැබූ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥයන් මෙන්ම සැකකරුවන්ගේ නීතිඥයන් දරුණු ලෙස එකිනෙකා චෝදනා එල්ල කර ගනු ලැබුණා.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පළමු සහ දෙවන සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවා සිටින අවස්ථාවේදී ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ ඉල්ලීම අනුව තමන් සැකකරුවන් පරීක්ෂා කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත ගිය බවත් ඔවුන්ගේ සුවදුක් සොයා විමර්ශන කඩිනම් කරන ලෙසට විමර්ශන ඒකකය වෙත දැනුම් දුන් බවත් සඳහන් කළා.

දෙවන සැකකාර හිමිනම නිලමැදිරිය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සලකා ඔහු වෙත සායනික කාඩ්පත මෙන්ම ඖෂධ ලබා දීමට ක්‍රියා කළ බවත් මෙය මානුෂීය හේතු මත ක්‍රියා කිරීමක් විනා පුද්ගලික දැනහැඳුනුම්කම් මත සිදු වූවක් නොවන බවට ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය දිවුරුම් ප්‍රකාශයේ අඩංගු කරුණු සලකා නඩුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ විභාගය සඳහා මාරු කර යැවීමට නියෝග කළා.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ නඩුව කැඳවනු ලැබූ අතර ඇප සම්බන්ධ කරුණු දැක්වීමට ලිඛිත දේශන මේ මස 24 වැනි දිනට දෙපාර්ශ්වයට ගොනු කරන ලෙස දන්වමින් ඇප නියෝගය මේ මස 31 වන දිනට කල් දමමින් සැකකාර වසන්ත මුදලිගේ යන අය එදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.