hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 05, ප.ව. 12:52



පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා විසින් කමල් ගුණරත්න මහතාට ලිපියක් යවමින් බුද්ධි තොරතුරක් සම්බන්ධයෙන් දැනුවත් කළ ලිපිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කරනු ලැබුවා.

ඒ ඊයේ (04) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී.

එහිදී ඔහු සඳහන් කළේ පොලිස්පතිවරයාට පැවරී තිබෙන රාජකාරියෙන් ඔබ්බට ගොස් දේශපාලන විහිළු සපයන්නෙක් නොවිය යුතු බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

පසුගිය ජුනි 27 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න මහතාට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් යවා තිබෙන ලිපිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුව තිබෙනවා. මේ ලිපියෙන් ප්‍රධාන කරුණු දෙකක් අවධාරණය කරනවා. ජූලි මාසයේ 05, 06 දෙදිනෙන් ආරම්භ වන කළු කොටි සැමරුම ඉලක්ක කරගෙන විදේශීය ඔත්තු සංවිධානයක මැදිහත්වීමෙන් උතුරේ හෝ දකුණේ බෝම්බ පිපිරවීමේ ඉඩක් තිබෙන බවට සඳහන් කර තිබෙනවා.

” එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදුකරන ලද්දක් බවට ඒත්තු ගැන්වෙන පරිදි ක්‍රියාකිරීමට දැනටමත් යාපනය ප්‍රදේශය තුළ දේශීය හා විදේශීය ආයතනවල සේවය කරන ප්‍රභූවරුන්ට 05 සහ 06 දෙදින තුළ ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇති බව” දැනුම් දී ඇතැයි කියනවා. මේ සම්බන්ධ තොරතුරු ලැබුණු මාර්ගය සහ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ආණ්ඩුව ඉදිරිපත් කළ යුතුයි. නමුත් ආණ්ඩුව එවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජ ගත කරන්නේදැයි බරපතළ සැකයක් තිබෙනවා.“යැයි අවධාරනය කර සිටියා.

ඒ ලිපියෙන් ඉදිරිපත් කර තිබෙන තවත් බරපතළ කරුණක් කෙරෙහි අප විශේෂ අවධානය යොමුකරනවා. එහි සඳහන් කර තිබෙන්නේ “ඉදිරියේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා, ජනතා විමුක්ති පෙරමුණත්, විරුද්ධ පක්ෂය නියෝජනය කරන තව දේශපාලන කණ්ඩායම්ද කටයුතු කරන බවට” තොරතුරු ඇතැයි සඳහන් කරනවා. මේක විහිළුසහගත ඉතාමත් විකට ලිපියක්. ආණ්ඩුව නිතරම උත්සාහ කරන්නේ සමාජය බියවද්දන්න.

විවිධ දේශපාලන ව්‍යාපාරවලට විවිධ ලේබල් අලවන්න. මේ තුළින් ආණ්ඩුවට විරුද්ධව පැන නැගී තිබෙන උද්ඝෝෂණ මාලාව ජාතික මට්ටමෙන් සහ ග්‍රාමීය නගර මට්ටමින් දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි මැදිහත් වී සිදුකරමින් යනවා. ජනතාව සංවිධානය කරන්නත් ඊට මැදිහත් කරවන්නත් නිශ්චිත වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. ඒකට විරුද්ධව ආණ්ඩුව මෙවැනි විවිධ ප්‍රචාරයන් විහිළුසහගත ආකාරයෙන් නිර්මාණය කර බෙදාහරිනවා. කිසිම තර්කානුකූල ආකාරයක් නොවෙන, වගකීමක් නැති ප්‍රවෘත්ති නිර්මාණය කරමින් යනවා. අප සහ අනෙකුත් විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ සම්බන්ධ කර තිබෙන මෙම ලිපිය අපේ පාර්ශ්වයෙන් බැහැර කරනවා. ආණ්ඩුවේ මේ විගඩම්වලට හසුවෙන්න එපා කියලා ජනතාවට අවධාරණය කරනවා. ජනාධිපතිවරයාත්, පොලිස්පතිවරයාත් අනුගමනය කරන මෙවැනි බොළඳ ක්‍රියාමාර්ගවලින් ජනතා විරෝධය යටපත් කළ නොහැකි බව අවධාරණය කරනවා.” යැයි ඒ මහතා පෙන්වා දුන්නා.

පොලිස්පතිවරයාට පැවරී තිබෙන රාජකාරියෙන් ඔබ්බට ගොස් දේශපාලන විහිළු සපයන්නෙක් බවට පත්වෙන්න එපා කියලා අවධාරණය කරනවා. මේ ලිපියේ පිටපත් පොලිස්පතිවරයා විසින් තමන්ගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාට වත් යොමු කර නැහැ. පොලිස්පති, ආරක්ෂක ලේකම් අතර පුද්ගලික ගනුදෙනුවකට ලියන ලියුමක් වගෙයි. ඉදිරියේ තීව්‍ර වන විරෝධතා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්න ආණ්ඩුව ඇතුලේම සැලසුමක් මෙවැනි ආකාරයෙන් තිබෙනවා දැයි සැකයක් මතුවෙනවා. මැයි 09වැනිදා සිදුවීම් සම්බන්ධයෙන් අවසන් වාර්තාවක් තවමත් නිකුත් කර නැහැ. පොලිසිය සහ හමුදාව විශාල වශයෙන් යොදවා තිබියදී නිවෙස්වලට ප්‍රහාර එල්ල වුණේ කොහොමද කියන ප්‍රශ්නය මතුවී තිබෙනවා.

මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට හමුදාව යෙදවීම ප්‍රමාද වුණේ ඇයි කියන ප්‍රශ්නයත් මතුවී තිබෙනවා. ජනතාවගේ විරෝධතා වෙන අතකට යොමුකිරීම සඳහා මෙවැනි තත්වයන් නිර්මාණය කිරීමට ආණ්ඩුවේ උත්සාහයත් තිබෙනවා විය හැකියි. නිවාස ගිනි තැබීමට පැමිණි අයගේ මෝටර් සයිකල්වල අංකයක්වත් පොලිසිය ලියාගෙන නැහැ. මේ නිසා මැයි 09 වැනිදා නිවාස ගිනි තැබීමත් ආණ්ඩුව විසින් කරන ලද කුමන්ත්‍රණයක් දැයි සාධාරණ සැකයක් අපට තිබෙනවා. මෙවැනි තත්වයක් කුමන්ත්‍රණකාරී ලෙස ඇතිකරලා ආණ්ඩුවට එරෙහි දේශපාලන ව්‍යාපාර මත පැටවීමේ සැලසුමක් තිබේදැයි බරපතළ සැකයක් ඇතිවී තිබෙනවා.” අනුර කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා විසින් කමල් ගුණරත්න මහතාට යැවූ ලිපියෙන් තොරතුර දැනුම් දෙන ආකාරයට අදාළ ප්‍රහාරය එල්ල කරනු ලබන බවට සඳහන් වන්නේ විදේශීය ඔත්තු සේවාවක සාමාජිකයන් පිරිසක් විසිනි.

මේ හේතුවෙන් දැනටමත් යාපනය ප්‍රදේශයේ විදේශීය ආයතනවල සේවය කරන පිරිස් සහ ප්‍රභූවරුන්ට මෙම දින දෙක තුළ කිසිදු උත්සවයකට සහභාගී නොවන ලෙසට යම් දැනුම් දීමක් කර ඇතැයි ද එම ලිපියේ සදහන් වෙනවා.

මේ අතර, ඉදිරියේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රින් ඇතුළු දේශපාලනඥයන් ඉලක්ක කර ඔවුන්ට සහ ඔවුන්ගේ නිවාසවලට ද යම් ප්‍රහාරයක් එල්ල කර ඔවුන් මගින් රජයට බලපෑම් කර රජය අපහසුතාවට පත් කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂවලින් සහ විපක්ෂ කණ්ඩායම් මගින් සැලසුම් කර ඇති බවට තමා වෙත වාර්තා කර ඇතැයි ද පොලිස්පතිවරයා මෙම ලිපියෙන් දැනුම් දී තිබෙනවා.

උතුරේ නැගෙනහිර හෝ දකුණේ බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ආරක්ෂක අංශ වෙත අනතුරු අගවමින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් යොමු කොට ඇති ‌ලිපියක් ඊයේ (04) පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සභාගත කළා.

මෙම ලිපිය ඉකුත් 27 වැනි දින නිකුත් කොට ඇති බව ඔහු පැවසුවා.

මේ හේතුවෙන් උතුරේ රැදී සිටින විදේශිකයන්ට උත්සවවලට හෝ සහභාගී නොවන ලෙස දැනුම් දීමක් කොට ඇති බව වාර්තා වී ඇතැයි එම ලේඛනයේ සදහන් වෙනවා.

මේ අතර මහජන ආරක්ෂාවට ප්‍රමුඛතාව දී රට තුල ඉහල ආරක්ෂාවක් තහවුරු කිරීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළා.