hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 1:06



ජනාධිපතිවරයා විසින් කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර, වාණිජ සහ පරිපාලන අග නගරයන්හි ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කීරීම නිසා මෙරට පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් රාශියක් කඩ වන බව ලිබරල් තරුණ ව්‍යාපාරය පවසනවා.

ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව දැඩි කණස්සල්ල පළ කරන බවයි.

එම නිවේදනය පහතින්,

ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 1955 අංක 32 රාජ්‍ය රහස් පනතෙහි දෙවන වගන්තිය ප්‍රකාරව පිළිවෙලින් කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර, වාණිජ සහ පරිපාලන අග නගරයන්හි ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

උක්ත ක්‍රියාව මගින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හිමිකර දී ඇති සංචරණයෙහි නිදහස, සාමකාමීව එක් රැස්වීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වැනි මූලික අයිතිවාසිකම් රාශියක් කඩ වන බව ලිබරල් තරුණ ව්‍යාපාරයේ විශ්වාසයයි.

මීට අමතරව, ලිබරල් තරුණ ව්‍යාපාරය විසින් තරයේ විශ්වාස කරන සහ රැක ගැනීමට උර දෙන ලිබරල් වටිනාකම් වන නිදහස, පුද්ගලවාදය සහ නීතියේ ආධිපත්‍යය වැනි වටිනාකම් කඩවන බව ලිබරල් තරුණ ව්‍යාපාරය අවධාරණය කර සිටින්නෙමු.

ඒ අනුව, ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව අපගේ දැඩි කණස්සල්ල ප්‍රකාශ කර සිටින්නෙමු.
එපමණක් නොව, ශ්‍රී ලාංකේය පුරවැසියාට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම් රැක ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ලිබරල් තරුණ ව්‍යාපාරය ලෙස අපි අපේක්ෂා කරන්නෙමු.

ලිබරල් තරුණ ව්‍යාපාරය