hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අප්‍රේල් 26, පෙ.ව. 9:41



මේවන විට “ගෝඨාගෝගම” විරෝධතාවට සහය පල කරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල එහි ශාඛා ආරම්භ කර තිබෙනවා.

මේ අතර එම විරෝධයට සමගාමීව අරලිය ගහ මන්දිරය ඉදිරිපිටත් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

අරලියගහ මන්දිරයට ගාලු පාරෙන් පිවිසෙන ප්‍රධාන දොරටුව අභියස විරෝධතා ස්ථානයක් ලෙස අද(26) පෙරවරු 6.30ට පමණ ආගමික වතාවත් සිදුකර පීත්ත පටි කපා කිරි උතුරවා එම ස්ථානය විරෝධතා ස්ථානයක් ලෙස ආරම්භ කෙරුණා.

එය නම් කර තිබෙන්නේ “මයිනා ගෝ ගම” ලෙසයි.

මෙම ස්ථානයේ පෙරේදා සිට කිහිපදෙනෙකු විරෝධතාවයක් ආරම්භ කළ අතර එහි රැඳී සිටි පුද්ගලයින් එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස අධිකරණ නියෝගයක් ලබාගැනීමට කොල්ලුපිටිය පොලිසිය කටයුතු කළා.

කෙසේ වෙතත් එම ඉල්ලීමට අධිකරණය අවසර ලබාදී නොතිබීම හේතුවෙන් මෙම ස්ථානය ස්ථිර විරෝධතා ස්ථානයක් ලෙස පවත්වා ගැනීමටයි විරෝධතාකරුවන් කටයුතු කර ඇත්තේ.

අද පෙරවරුවේ එම ස්ථානය ස්ථාපිත කිරීම වෙනුවෙන් ආගමික වතාවත් සිදුකර කිරි උතුරුවා පීත්ත පටියක් ද කපා පිරිස එම ස්ථානයේ විරෝධතා ආරම්භ කළා.

මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ කල්ලිය ගෙදර යනකම් ගෝඨාගෝගම සහ මයිනාගෝගමින් ඉවත් නොවන බව විරෝධතාකරුවන් පවසනවා.