hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 27, ප.ව. 3:36



හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (27) කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අවවාද කර තිබෙනවා.

විවෘත අධිකරණයේදී නඩුවක් කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවෙකු ලෙස සඳහන් කර ඇති මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නොනැගීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනුයි මහේස්ත්‍රාත්වරයා එලෙස අවවාද කර ඇත්තේ.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එකී ප්‍රහාර ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හා රටේ විධායක ජනාධිපතිවරයා ලෙස වළක්වා ගැනීමට අපොහොසත් වීම අභියෝගයට ලක් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පෞද්ගලික නඩුව අද කැඳවූ අවස්ථාවේ එය සිදු වී තිබෙනවා.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පාදයක් අහිමි වූ පුද්ගලයෙකු සහ සිරිල් ගාමිණී පියතුමන් විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබෙනවා.

එම නඩුව අද දින විවෘත අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදි මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නැගීමකින් තොරව ඉන් පිටත රැඳී සිට ඇති අතර එම අවස්ථාවේදී පැමිණිලිකරුවන් වෙනුවන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා සැකකාර මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවෙන් පිටත රැඳී සිටීම කෙරෙහි අධිකරණයේ අවධානය යොමු කර ඒ සම්බන්ධයෙන් විරෝධතාව පළ කර තිබෙනවා.

සිය සේවාදායකයාට එරෙහිව පවරා ඇති පෞද්ගලික නඩුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම අභියාචනාධිකරණය විසින් අත්හිටුවනු ලැබ ඇති බැවින් ඔහු විත්ති කූඩුවට නැගීමක් සිදු නොකළ බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා අධිකරණයට පෙන්වා දී තිබෙනවා.

අභියාචනාධිකරණය විසින් තම අධිකරණයට නියෝග කරනු ලැබ ඇත්තේ, එම සැකකරුට චෝදනා පත්‍රය කියවා දී නඩුවේ ඉදිරි කටයුතු යළි ත් අභියාචනාධිකරණයෙන් නියෝගයක් ලබා දෙන තුරු වැළැක්වීමක් මිස ඔහුට විත්ති කූඩුවට නොනගින ලෙසට නියෝගයක් නොවන බවට පෙන්වා දී ඇති කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා එම නඩුවේ සැකකරුගේ නම ප්‍රකාශ කර නැවත අඬ ගසන ලෙස අධිකරණ භාෂණ පරිවර්තකවරියට නියෝග කර තිබෙනවා.

දෙවන වරට නඩුව කැඳවූ පසු මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නැග ඇති අතර නඩුව නැවත කැඳවන විටදී සැකකරුවෙකු සිටිය යුතු ස්ථානය වන විත්ති කූඩුවට මින් ඉදිරියට නගින ලෙසත් ඔහුට මහෙස්ත්‍රාත්වරයා අවවාද කර තිබෙනවා.

අදාළ නඩුව ලබන මාර්තු 17 වන දා නැවත කැඳවීමටයි මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.