hit counter

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා

2025 මාර්තු 18, ප.ව. 12:04



ශ්‍රව්‍යාබාධිත, දෘශ්‍යාබාධිත ආදි විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාවගේ පහසුව වෙනුවෙන්, ඔවුන්ට ද පොදු ප්‍රවාහනය වෙත ප්‍රවේශවීමේ හැකියාව ලබාදීමත්, පොදු ප්‍රවාහනය තුළ කාන්තා ආරක්ෂාව තහවුරු කිරීමත් අරමුණුකර, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අන්තර්කරණ සහාය මධ්‍යස්ථානයක් විවෘත කිරීම, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පරිශ්‍රයේ මෙම විශේෂ ස්ථාපිත කිරීම මගින් හදිසි දැනුම්දීමේ අංකයක්, ශ්‍රව්‍යාබාධිත මගීන්ට සන්නිවේදන පහසුවක් මෙන්ම තොරතුරු දැනගැනීමේ පහසුව වැනි සේවාවන් රැසක් මගී ජනතාවට හිමි වේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙම උපකාරක කවුලුවේ (Help Desk) සේවය සඳහා විශේෂ අවශ්‍යතා සහිත සේවක පිරිස්ම යොදවා තිබීමයි.

මෙම අවස්ථාවට සමගාමීව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය එළිදැක්වීම ද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරන ලදී.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පැමිණ සිටි පිරිස අමතමින් පැවසුවේ, මෙවැනි සමාජ සද්කාර්යයන් දේශපාලනීකරණය වියයුතු නොමැති බවත්, සෑම කටයුත්තකටම දේශපාලනය සම්බන්ධ කරගැනීමෙන් සමාජය යාවත්කාලීන කළ නොහැකි බවත්ය.

එසේම සමාජමය පරිවර්ථනයක් සිදුකිරීමට නම්, අප සමග ජීවත්වන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට නැගී සිටීමට මේ ආකාරයෙන් සහෝදරාත්මක දෑත් දිගුකළ යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

මෙම අවස්ථාවට සහභාගී වූ ප්‍රථම දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් වසන්ත ද සිල්වා අදහස් දක්වමින්,

“ආබාධිත ජනතාවට පොදු ප්‍රවාහනයේ ‍විශාල ගැටලු තිබෙනවා. පොදු ප්‍රවාහනය ලක්ෂ සංඛ්‍යාත වූ ආබාධිත ප්‍රජාවට ප්‍රවේශාත්මක නැහැ. ඒ නිසා, ප්‍රධාන මානවීය අයිතියක්වන සංචරණීය අයිතිය පවා අපට අහිමිවෙලා තිබුණා. නිවෙස්වලට කොටුවෙලා ඉතාමත් ලතැවුලෙන් ජීවත්විමට සිදුවුණා. මේ තත්ත්වය වෙනස්කර නිර්බාධිත ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කරන්නට ජාතික ජන බලවේගය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එහි එක් පියවරක් තමයි අද මේ සිදු කරන්නේ. හෙට දවසේ මෙය තවත් සංවර්ධනය වී, නිර්බාධිත ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කර ආබාධිත ජනතාවට පොදු ප්‍රවාහනය බුක්තිවිඳීමේ පහසුකම් සළස්වන්නට හැකිවේවි. එමගින් ආබාධිත පිරිස් වලට රටේ සංවර්ධනයට දායකවීමේ හැකියාව ද හිමිවන බව පැහැදිළියි ” යැයි පැවසීය.