hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූනි 17, ප.ව. 1:02



කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ පිවිසුම අවහිර කරමින් සිය බස් රථ ගාල් කර බස් රියදුරන් විසින් අද උදෑසන විරෝධතාවයක නිරත වුණා.

අද (17) පෙරවරුවේ ඉන්ධන නොලැබුණු බස් රථ සේවකයන් පිරිසක් විසින් මෙලෙස විරෝධතාවයේ නිරත වූ අතර ඔවුන් ප්‍රකාශ කර සිටියේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ සඳහා ගැටළුවකින් තොරව ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ඉන්ධන නිකුත් කරන බවයි.

ඔවුන් ඉල්ලීම් කර සිටියේ සාමාන්‍ය බස් රථවලට එම පහසුකම නොලැබීමෙන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවත් අධිවේගයේ බස් රථවලට ලබාදෙන ඉන්ධන පහසුකම සාමාන්‍ය බස්රථවලට ද ලබාදෙන ලෙසයි.

පසුව ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරියෙකු එම ස්ථානයට පැමිණ සාමාන්‍ය බස් රථවලට ද ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකසන බවට පොරොන්දු වීමත් සමඟ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් පැවැත්වූ විරෝධතාව අවසන් කර තිබෙනවා.

මාර්ග අංක 174 කොට්ටාව බොරැල්ල , මාර්ග අංක 255 කොට්ටාව ,ගල්කිස්ස , මාර්ග අංක 138 හෝමාගම, පිටකොටුව සහ මාර්ග අංක 138/1 මත්තේගොඩ – පිටකොටුව බස් රථ සේවකයන් එම විරෝධතාවයකට එක්ව සිටියා.

එම අවස්ථාවේ දුර අධිවේගී මාර්ගය භාවිතා කර දුර පළාත්වලට යාමට පැමිණි සිටි මගීන් සහ විරෝධතාවයේ නිරත බස් රථ සේවකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වීමක් සමග තත්ත්වය පාලනය කිරීම සදහා එම ස්ථානයට හෝමාගම පොලීසියේ නිලධාරීන් පිරිසක් පැමිණ තිබෙනවා.

පසුව අදාල ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා විරෝධතාවයේ නිරත බස් රථ රියදුරන් සහ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ආරම්භ කෙරුණා.

කෙසේවෙතත් එම සාකච්ඡාව අතරතුර හදිස්සියේ ඇති වූ අසනීප තත්ත්ත්වයක් හේතුවෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කළමනාකරු නාලක දිසානායක මහතා හදිසියේම රෝගල්ගත කිරීමට සිදු වුණා.