hit counter

2024 මැයි මස 18 වන සෙනසුරාදා

2024 මැයි 05, පෙ.ව. 12:03



ජනාධිපති කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක නොකර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත වත්මන් ආණ්ඩුව ඊටත් ඉහළ මට්ටමකින් ඉදිරියට ගෙනයන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයකට ප්‍රතිචාර දක්වමින්, පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි මේ බව පවසයි.

පාස්කු ප්‍රහාරයට වසර 5ක් සපිරීම නිමිත්තෙන් අප්‍රේල් (21) වනදා පැවති වැඩසටහනකදී කාදිනල් හිමි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශන යටපත් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළ බවට චෝදනා කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම අසීරු යැයි හිටපු ජනාධිපතිවරයා තමන් වෙත දුරකථනයෙන් අමතා පැවසූ බවද කාදිනල් හිමි පවසයි.

එම චෝදනාව සිදුකර දින 04 කට පසුව ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, එහි ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ලැබු පසු තමන් කාදිනල්තුමාට දුරකථනයෙන් කතා කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම අසීරු බව නොපැවසූ බවයි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය නිවේදනයට කාදිනල් හිමි ප්‍රතිචාර දක්වමින් සදහන් කළේ, කොමිසමේ අවසන් වාර්තාව සිය අතට පත්වූ දිනට පසුදින තමන් කාදිනල් හිමිට දුරකථන ඇමතුමක් නොගත් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නිවේදනයෙන් පැවසුවද, එය මුළුමනින්ම අසත්‍ය බවයි.

එම නිවේදනය අවසානයේ සඳහන් කර ඇත්තේ, ජනාධිපති කොමිසම් සභාව නිර්දේශ කළ විමර්ශන හා නඩු පැවරීම් සිදු නොකර ගෝඨාභය රාජපක්ෂ ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත අද පවතින රජයද ඊටත් ඉහළ මට්ටමකින් ඉදිරියට ගෙනයන බවය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: