hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 11:52



හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව හා ලුණුගම්වෙහෙර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල ප්‍රදේශ දෙක කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ සමීක්ෂණයකදී එම ප්‍රදේශවල දරුවන්ගෙන් සියයට 80ක් පමණ මන්දපෝෂණයට ගොදුරු වී සිටින බව හෙළි වී යැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති ජී.ජී. චමල් සංජීව මහතා පැවැසුවා.

එකී සමාජ සමීක්ෂණය අනුව එහි දරුවන්ගෙන් සියයට 30ක් පමණ උග්‍ර මන්දපෝෂණයට ලක්ව ඇති බවද, සියයට 50ක් පමණ මඳ මන්දපෝෂණයට ලක්ව සිටින බවද ඉතිරි සියයට  විස්ස මන්දපෝෂණ තත්ත්වයට ළඟා වෙමින් සිටින බවද හෙළි වී යැයි වෛද්‍ය චමල් සංජීව කියා සිටියා.

සමීක්ෂණයට ලක් වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශ දෙකෙහි අවුරුදු 5ට අඩු දරුවන්ගේ සෞඛ්‍ය කාඩ්පත් නිරීක්ෂණයෙන්ද අවුරුදු 5ට වැඩි දරුවන්ගේ මවුපියන් හා සාකච්ඡා කිරීමෙන්ද තොරතුරු ලබාගත් බවද හෙතෙම සඳහන් කළා.

කොළඹට වී සිට ගම ගැන කතා නොකර වගකිව යුතු බලධාරීන් වහාම ගමට ගොස් නිසි විද්‍යාත්මක අධ්‍යයනයක් කර ඊට නිසි විසඳුම් ලබා දීමට කඩිනම් පියවරක් ගත යුතුව ඇති බවත්, එසේ නොවුණහොත් දරු පරපුර දරුණු අගාධයකට ඇද වැටෙනු ඇති බවත් ඔහු කියා සිටියා.

චමල් සංජීව මෙසේද සඳහන් කළා,

“අප කළ නිරීක්ෂණයේදී අපට මේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා පෝෂණ තත්ත්වයන් පිළිබඳව කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වුණා. විශේෂයෙන්ම කියන්න ඕනෑ, මේ ජනතාව සමඟ අපි කතා කළාම අපට අනාවරණය වුණු එක් කරුණක් තමයි ගෙවුණු මාස හයක කාලයක සිට ජනතාව මේ තත්ත්වයට පත්වෙමින් තිබෙන්නේ කියන එක. එහිදී මවුපියන් අපත් සමඟ කිව්වේ සතියකට දවස් දෙකක් තුනක් තමයි කුලියකට යන්න තියෙන්නේ. ඉතින් ඒ ලැබෙන මුදල ලයිට් බිල්, වතුර බිල් ගෙව්වම ඉවරයි. ඉතුරුවෙන කීයකින් හරි බඩවියත රැකගන්න හාල්, පොල් ටිකක් ගන්නකොට මස්, මාළු, බිත්තර ගන්න පුළුවන් කමක් නෑ කියලයි. මේ ගමේ ඇවිද ගිය අවට නිවෙස් දෙක තුනක් විතරයි හමු වුණේ.

කොළඹ ඉඳන් බොහෝ නිලධාරීන් අපි දකිනවා ගම ගැන කතා කරනවා ඇහෙනවා. අපි මේ ගමට ගියාම මේ ජනතාව පුදුම වේදනාවකින් කතා කළේ. ඒ නිසා අපි ආරාධනා කරනවා හැමෝටම එන්න මේ අසරණ මිනිස්සු වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් සකස් කරන්න, මැදිහත් වෙන්න කියලත්. අපිට දැනගන්න ලැබුණා සූරියවැව ඇතැම් පාසල්වල උදෑසන රැස්වීමේදී ළමයි විශාල ප්‍රමාණයක් නිසි පෝෂණයක් නොමැතිකම නිසා ක්ලාන්තය දමා ඇද වැටෙන බව. ඒකට හොඳම නිදසුන තමයි පසුගිය දවසේ

සූරියවැව නමඩගස්වැව මහා විද්‍යාලයේ උදෑසන රැස්වීම මේ වන විට නවතා දමා තිබෙනවා දරුවන් ක්ලාන්තය හැදී බිම ඇද වැටීම නිසා. ඒ විතරක් නෙමේ පාසලේ ගුරුවරු විසින් පාසලේ වෙනම ආහාර බැංකුවකුත් පවත්වාගෙන යන බවට අපට තොරතුරු අනාවරණය වුණා. එහිදී ගුරුවරු විසින් වැඩිපුර පාසලට කෑම පාර්සල් දෙක බැගින් ගෙනත් ආහාර තබන ස්ථානයේ ගබඩා කර තබන අතර ආහාර නොමැති දරුවන්ට ඉන් කෑම පාර්සලයක් ලබා ගැනීමට ඉඩකඩ සකස් කර තිබෙනවා. ඉතින් මේ තත්ත්වය කඩිනමින් වෙනස් කළ යුතුයි.”