hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 07, ප.ව. 3:25



විදේශ රටවල සිටිමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා ලබාදෙන විදේශීය රැකියා නියෝජිත ආයතනවල කටයුතු වඩාත් විධිමත් සහ පහසු කරගැනීම සදහා විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කිරීමේ කටයුතු වඩාත් වේගවත් කරන ලෙස එමිරේට්ස්හි ශ්‍රී ලාංකික විදේශ රැකියා නියෝජිතයින්ගේ සංවිධානය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගෙන් ඉල්ලා සිටිනවා.

එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිතරවූ අමාත්‍යවරයා හමුවූ එමිරේට්ස්හි ශ්‍රී ලාංකික විදේශ රැකියා නියෝජිතයින්ගේ සංවිධානයේ සම සභාපති සම්පත් කුමාරසිංහ මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා.

විදේශ රටවල සිටින රැකියා නියෝජිත ආයතන ශ්‍රී ලාංකිකයින්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම සදහා සෑම විටම කැපවී කටයුතු කරන බව ඔහු පැවසුවා.

මේ නිසා විදේශීය රැකියා නියෝජිත ආයතනවල කටයුතු වඩාත් වේගවත් සහ පහසු කිරීම සදහා අවශ්‍ය සහාය ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළා.

විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කරන ලෙසට වැඩිදුරටත් ඉල්ලා සිටි සම්පත් කුමාරසිංහ මහතා මෙසේද කීවේය.

”විදේශ රැකියා අවස්ථා වැඩි වශයෙන් ලංකාවේ ශ්‍රමිකයින්ට ලබාදීමට අපේක්ෂාවෙන් සිටින නියෝජිතයින් වන අප, රැකියා ඇණවුම් ලබාදීමේ කටයුතු වඩාත් විධිමත් කිරීම ගැන ඔබතුමන්ගේ අවධානය යොමු කිරීමට කැමැතියි . දැනට රැකියා ඇණවුමක් ලංකාවට ලබාදීමේදී නොයෙක් ගැටලු පවතින අතර තානාපති කාර්යාලයට සෘජුව පැමිණ රැකියා ඇණවුම් ලබාදීමට සිදුව තිබෙනවා. තානාපති කාර්යාලයේ සිට කිලෝමීටර සිය දහස් ගණනක් ඈත සිටින අයට පවා තානාපති කාර්යාලයට පැමිණීමට සිදුවීමත්, අවස්ථා කිහිපයක් එසේ පැමිණීමට සිදුවීමත් අපේ කාලයත්, පිරිවැයත් අපතේ යැවීමකි.

ඒ අතරම විදේශ රටවලට එවනු ලබන ඉතාමත් සුළු ශ්‍රමිකයින් පිරිසක්, රැකියා නියෝජිත ආයතනවලට කරනු ලබන නොයෙක් ආකාරයේ වංචා සහගත කටයුතු අප ව්‍යාපාරය වෘත්තීය වශයෙන් පවත්වාගෙන යාමට සෘණාත්මකව බලපා තිබෙනවා. රැකියා ඇණවුමක් ලබාදීමේ සිට ශ්‍රමිකයෙක් විදේශ රටකට ගෙන්වා ගැනීම දක්වා වූ ක්‍රියාවලිය නව තාක්ෂණය සමග එක් කර මෙම ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කරන බවට ඔබතුමන් මාධ්‍ය වෙත අදහස් දක්වන අවස්ථාවලදී ප්‍රකාශ කර තිබෙන අයුරු අපගේ නිරීක්ෂණයටත්, එය අපගේ අගයකිරීමටත් ලක්වුණා.

මෙම ක්ෂේත්‍රයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට ලක් කිරිමට හැකි නම් එමගින් විදේශ රැකියා ක්ෂේත්‍රයේ වාර්තාවන අක්‍රමිකතා වලක්වා ගැනීමට හැකියාව ලැබෙන අතර එමගින් වඩාත් වෘත්තීය භාවයකින් යුතුව මෙම ක්ෂේත්‍රය පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇත. එසේම රැකියාවක් සදහා පැමිණෙන ශ්‍රමිකයාගේ සුරක්ෂිතභාවයද තහවුරු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා”

මෙයට ප්‍රතිචාර දැක්වූ මනුෂ නානායක්කාර අමාත්‍යවරයා පැවසුවේ මෙම ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීමේ කටයුතු වේගවත් කිරීමට පියවර ගන්නා බවයි.