hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 20, පෙ.ව. 8:23



තත්වයෙන් අසමත්විම හේතුවෙන් රුපියල් අනූ දෙකෝටි අනු හත් ලක්ෂ එක් දහස් නමසිය හැත්තෑ අටක (929,701,978)  වටිනා වෛද්‍ය සැපයිම් 56ක් භාවිතයෙන් ඉවත්කර හෝ භාවිතය අත්හිටුවා තිබු බව ජාතික විගණන කාර්යාල පවසයි.

තත්වයෙන් අසමත් වෛද්‍ය සැපයුම් අතුරින් බොහොමයක දෘශ්‍ය අංශු පැවතීම, පෙති කැඩියාම, වර්ණය වෙනස් වීම, බ්‍රිතාන්‍ය ඖෂධවේද පරිවිතරයන්ට අනුකූල නොවිම, ක්ෂුද්‍ර ජීවි දුෂණය ආදි කරුණු හඳුනාගෙන තිබූ බව ද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

භාවිතයෙන් ඉවත් කළ වෛද්‍ය සැපයිම් අතර හෘද රෝග, අක්ෂි ආසාදන, පිළිකා, වකුගඩු රෝග, සඳහා භාවිතා කරන ඖෂධ  තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වෙනවා.

තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයුම් ලැබීම අවම වන ආකාරයට රසායනාගාර පරික්ෂණ ප්‍රමාණය ඉහළ නංවා ගැනීම සහ  වෙනත් සුදුසු විධිමත් පියවර අනුගමනය කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට තිබෙනවා. 

කෙසේ වුවද මේ පිළිබඳ ඖෂධ නිෂ්පාදනය, සැපයිම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විගණනයට සඳහන්කොට ඇත්තේ තත්වයෙන් අසමත් ඖෂධ රෝගින්ට නිකුත්වීම අවම කිරීම සඳහා එවැනි දෝෂ අවම  හොඳ නිෂ්පාදන භාවිතාවන් අනුගමනය පිළිබද  සහතික ලත්  නිෂ්පාදන පමණක් මිලදී ගැනීමට කටයුතු කරන බවයි. 

එමෙන්ම 2020 වර්ෂයේ ජුනි මාසයට පෙර කාලසීමාවේ දී ඖෂධ නිකුත් කිරීමට පෙර ඖෂධවල තත්ත්වය පරීක්ෂා කිරිමේ ක්‍රමවේදයක් නොතිබු බවද සඳහන් කොට තිබෙනවා.

කෙසේ වුවද මේ වනවිට ලැබෙන ඖෂධ කාණ්ඩ කිහිපයකින් නියැදි ලබාගෙන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රසායනාගාරය වෙත යවා පරික්ෂා කිරිමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බවද ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සදහන් කොට තිබෙනවා.

ඖෂධ නිෂ්පාදනය, සැපයිම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණා.

ලලිත් චාමින්ද