hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 04, ප.ව. 3:42



තලවකැලේ ලිදුල නගර සභාවේ කැලි කසල අංගණයට විනාශ කිරීමට නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ ලය චිකිත්සාගාරය විසින් භාරදී තිබු කල් ඉකුත් වු ඖෂධ තොගය ඊයේ (03) එම රෝහලේම වාහනයකින් යලිත් රෝහල වෙත රැගෙන ගිය බව තලවකැලේ ලිදුල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා පැවසුවා.

නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ ලය චිකිත්සාගාරයේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරියා විසින් තලවකැලේ ලිදුල නගර සභාවට මීට මාස දෙකකට පමණ ප්‍රථම කල් ඉකුත් වූ කිලෝ 280 ඖෂධ තොගයක් විනාශ කරන ලෙස එම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වෙත ලිඛිතව භාර දි තිබුණා.

එම ඖෂධ තොගය විනාශ කිරීමට නගර සභාවේ කසල දහකය ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැති නිසා එම ඖෂධ තොගය විනාෂ නොකර තලවකැලේ ලිදුල නගර සභාවේ කැලි කසල අංගණයේ ස්ථාන කිහිපයක ගබඩා කර තිබු අයුරු මාධ්‍ය මගින් හෙලිදරව් කිරීමත් සමග ඊයේ (03) දින එම ඖෂධ තොගය යලිත් රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

නුවරඑලිය දිස්ත්‍රික් වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන මහතාගෙන් ඒෂියන් මිරර් අප කල විමසුමකට ඔහු කියා සිටියේ තම කාර්යාලයේ නිලධාරින් පිරිසක් සහ ලය චිකිත්සාගාරයේ සේවකයින් පිරිසක් තලවකැලේ ලිදුල නගර සභාව වෙත යවා එම ඖෂධ තොගය යලිත් රෝහල වෙත ගෙන්වා ගත් බවයි.

2008 වසරේ සිටම ලය චිකිත්සාගාරයේ තිබු කල් ඉකුත් වු ඖෂධ තොගය විනාශ කිරිමට යොමු කර තිබු බවත්, යලිත් නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ගෙන්වා ගත් කල් ඉකුත් වු ඖෂධ තොගය තෙල්දෙණිය දිස්ත්‍රික් මහ රෝහලේ කසල දහකය වෙත විනාශ කිරිමට යොමු කිරිමට පියවර ගෙන ඇති බව වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නිශ්ශංක විජේවර්ධන මහතා පැවසුවා.