hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 ජනවාරි 25, පෙ.ව. 3:43



ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ඇතිවූ පීඩනයත් සමග මානසික රෝගීන් බවට පත්වූ පුද්ගලයන් රෝහල් ගතවීම සහ සායනවලට පැමිණීම සියයට 30කින් පමණ වැඩිවී ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසනවා.

විවිධ මානසික රෝගවලට ප්‍රතිකාර ගත් පුද්ගලයන් ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ඖෂධ ගැනීම නැවැත්වීම නිසා ඔවුන්ගේ ඒ මානසික රෝග යළි උත්සන්නවී රෝහල් ගතවීමද වැඩිවුණු තත්වයක් පෙනෙන්නට ඇතැයි විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

මෙරට රැඳී සිටීමෙන් අනාගතයක් නැතැයි ඉච්ඡාභංගත්වයට පත් වුණු තරුණ තරුණියන් අතරේද මානසික රෝග වැඩිවී ඇතැයි ඔහු සඳහන් කළා.   

විදේශයන්ට යෑමට නොහැකිව පීඩනයට සහ කලකිරීමට පත්ව සිටින තරුණ තරුණියන් අතරේ මානසික ගැටලු බොහෝ සෙයින් වර්ධනයවී ඇති බවත් බොහෝ තරුණයන් මෙම පීඩනය සමහන් කරගන්නේ සමාජයට වෛරය මුදා හැරීමෙන් බවත් ඔහු පැවසුවා.

බොහෝ අය සිය වෛරය පිට කිරීම සඳහා සමාජ මාධ්‍ය යොදාගෙන ඇතැයිද රූමි රූබන් මහතා පැවසුවා. 

ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් වැඩිහිටියන්ගේ මෙන්ම දරුවන්ගේද මානසික ආතතිය ඉතා විශාල අයුරින් වැඩිවී ඇති බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා විවිධ ගැටලු හේතුවෙන් සිය අධ්‍යාපන කටයුතු කලට වේලාවට කරගනීමට නොහැකිවීම නිසාද සැලකිය යුතු පිරිසක් මානසික පීඩනයට ගොදුරුව සිටින බව සඳහන් කළා.

කොරෝනා සමයේදී ඔන් ලයින් අධ්‍යාපනය හේතුවෙන් ජංගම දුරකතනවලට ඇබ්බැහි වූ දරුවන් විශාල පිරිසක්ද විවිධ මානසික ව්‍යාධීන්ට ලක්ව පීඩා විඳින බව ඔහු අනාවරණය කළා.