hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 20, පෙ.ව. 12:03



රටට ගැලපෙන ආකාරයේ නව ව්‍යවස්ථා සංශෝධනයක් හා ජාතික ප්‍රතිපත්තියක් අනිවාර්යයෙන්ම ගෙන ආ යුතු බව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණු වැවේ ධම්මරතන නාහිමියෝ පවසනවා. 

මල්වතු මහා විහාරයේදී මල්වතු මහා නාහිමි අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ධම්මරතන නාහිමි කියා සිටියේ පූජ්‍ය පක්ෂය වශයෙන් මහා සංඝරත්නය පමණක් නොව හින්දු ආගමේ කුරුක්කල් තුමන්ලා , ඉස්ලාම් ආගමේ මවූලවි තුමන්ලා, කතෝලික ආගමේ පියතුමන්ලාද පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බවයි.

තවදුරටත් මාධ්‍ය හමුවේ අදහස් පළ කළ නාහිමියෝ මෙසේද සඳහන් කළා.

“1948 ඉදලා මේ රට පාලනය කරපු අය මොකද කළේ. ඉතා සුළු පිරිසක් හැරුණු කොට අනිත් අය කළේ පුළුවන් තරම් හොරකම් කරලා යටිමඩි ගහන එක තමයි. එදා ඉදලා අද වෙන තුරුම සිදුවුණේ  හැමදෙනාම තම තමන්ට හැකි ආකාරයෙන් අඩු වැඩි වශයෙන් හොරකම් දූෂණ වංචා කරන එක විතරයි. මේක නැති කරන්න නම් මේ ක්‍රමයේ වෙනසක් ඇති කරන්න නම් එක් පුද්ගලයෙකුට බලය නොදී සියලු ජාති ආගම් නියෝජනය කරන කණ්ඩායමකට බලය දී නිර්මාණාත්මක පුද්ගලයෝ කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යවන එක සිදු විය යුත්තක්. නැතිනම් කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය දවසේ ඉඳලා උඩ ඉඳ පල්ලෙහාට හොරකම් කරන එකයි. රටේ ජනාධිපතිවරු පත්වුණු දවසේ ඉඳලා සිදු කරලා තියෙන්නේ උඩින් යන එක තමයි. ඒ අයට මේ රටේ දෙයක් ගැන හිතන්න වෙලාවක් තියෙන්නෙ නැතුව ඇති. 

එදා සුද්දෝ නිදහස දීලා යනකොට අපි ගැට ගහලා ආගම් ජාතීන් අතර බේද ඇති කරලා ගියේ. සියලු  ආගම් ජාති නියෝජනය කරමින් පුද්ගලයෝ පාර්ලිමේන්තුවට ගියත් ඒ අය කරන්නේ  වෙන ඩියුටියක්. මේ අය ආගම්වාදය, ජාතිවාදය, වර්ගවාදය වපුරලා පාර්ලිමේන්තුවට යනවා. බලය ගන්නවා ඒ හැරෙන්න වෙන දෙයක් කරන්නේ නෑ. මේ රටේ තවමත් තියෙන්නේ එංගලන්තේ සුද්දෝ හදපු නීතිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නමවෙනි වගන්තියේ බුද්ධාගමට මුල්තැන දීලා ආරක්ෂා කරන්න කිව්වොත් එහෙම වෙනවද. රටේ ජාතික ප්‍රතිපත්තියක් නෑ එන එන මිනිහා තමන්ට ඕන විදියට ගැසට් ගහලා වැඩේ කරගන්නවා. දැන් ඇති. මේ රටට ගැලපෙන විදියට ව්‍යවස්ථා සංශෝධනයක් සහ ජාතික ප්‍රතිපත්තියක් අනිවාර්යයෙන්ම ගෙන ආ යුතුයි. මංකොල්ලකා ඇති අපේ උරුමය නැවත රටේ ජනතාවට ලබාදිය යුතුයි. සුද්දා හදපු විහාර දේවාලගම් පනතවත් වෙනස් වෙලා නෑ. තව දුරටත් අන්ධයෝ වගේ ජාති ආගම් පාට පක්ෂ  බදාගෙන ඉඳලා වැඩක් නෑ. සියලු දෙනා එක්ව එක මඟක යා යුතුයි. පාර්ලිමේන්තුවේ ඉන්න කිසිම කෙනෙක් විශ්වාස කරන්න බෑ.                                                                                                            

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න ඔන්න මෙන්න තියලා ව්‍යවස්ථාවක් ගේන්න පුළුවන්ද. දැන් මැතිවරණ කොමිසමට තමයි සියලුම බලය ලැබිලා තියෙන්නේ. ජනාධිපතිවරණය අවසන් වෙනකම් කොමිසමට අවශ්‍ය විදියට තමයි වැඩ කටයුතු වෙන්නේ. අධිකරණයෙන් පැහැදිලිවම පෙන්වා දීලා තියෙනවා ජනාධිපතිවරයාගේ කාලසීමාව වසර 05 ක් කියලා. අධිකරණය පිළිබඳව අපි විශ්වාස කරනවා. නුසුදුසු අය බලයට ඇවිත් ගිජු ලිහිණියෝ මස් කෑල්ල ඩැහැ ගත්තා වගේ තනතුරු අත් නොඇර ඉන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. රටේ ජනතාව දැන් බොහොම විමසිල්ලෙන් ඉන්නේ. බොහෝ අය ප්‍රශ්න කරනවා ජනාධිපතිවරණයේදී අපි සහාය දෙන්නේ කාටද කියලා. මුහුද හත් ගව්වක් තියලා අඹුඩ ගහන්න අවශ්‍ය නෑ. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ අපි කරන්නම්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: