hit counter

2026 සැප්‍තැම්‍බර් මස 26 වන සෙනසුරාදා

2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:06



පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ලක්ෂ 50ක් ලබාගැනීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (26) මිහින්තලේ පූජා භූමියෙන් ආරම්භ වුණා.

මිහින්තලය රජමහා විහාරාධිපති, පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්, මහා සංඝරත්නය ඇතුළු පිරිසක් මෙම පෙත්සමට අත්සන් තැබීමේ අවස්ථාවට එක්ව සිටියා.

එහිදී අදහස් දැක්වූ මිහින්තලය විහාරාධිපති හිමියන්, ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් උදෙසා ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් විශේෂ ඉල්ලීමක් ද කළා.

උන්වහන්සේ ප්‍රකාශ කළේ එවකට යහපාලනයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමට කටයුතු කළ බවයි.

එහිදී ඊට අදාළ නියෝගය නිලධාරීන්ට මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාදුන් බවත්, එනමුදු ඊට අදාළ ලේඛන පිළියෙල කිරීමේදී නිලධාරීන් විසින් සිදු කළ යම් අඬුලුහුඬුකම් හේතුවෙන් උන්වහන්සේට ලබා දුන් ජනාධිපති සමාව නැවතත් අභියෝගයට ලක්කිරීමට හැකිවීම ඉතාම කණගාටුවට කරුණක් බව පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් සඳහන් කළා.

උන්වහන්සේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙසයි.

ඒ සඳහා අවශ්‍ය ලේඛන සකසා ඉන් අනතුරුව ඒවා මහනායක ස්වාමීන් වහන්සේලාට පිළිගන්වා  අවසානයේ එම ලේඛන සියල්ල ජනාධිපතිවරයාට ලැබෙන්නට කටයුතු සම්පාදනය කර ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් කියා සිටියා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී වසර 6ක සිර දඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පොදු සමාව ප්‍රදානය කර නිදහස් කර තිබුණා.

කෙසේ නමුත් එම තීරණය නීතිය ඉදිරියේ බල රහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 10 වැනිදා තීන්දු කළා.

“අපේ ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ යම් වූ ප්‍රකාශයක් කරලා ගරු අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේට සිර දඩුවම් නියම වුණා.

සිරදඬුවම් නියම වුණාට පස්සේ අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරීන්ට කිව්වා උන්වහන්සේට ජනාධිපති සමාව දෙන්න කියලා. හැබැයි ජනාධිපතිතුමා නෙවෙයි ඒ ලියකියවිලි සකස් කරන්නේ. ඒ ඉන්න නිලධාරී මහත්ම මහත්මීන් මොනවා හෝ අඩුවක් හිඩසක් තිබිලා උන්වහන්සේට කවුරුහරි නැවත අධිකරණයට කියලා තියෙනවා මේක වැරදියි කියලා. ඒ දීපු ආකාරය වැරදියි කියලා. ඥානසාර හාමුදුරුවෝ නෙවෙයි වැරදි. ඒ නිලධාරීන් තමයි ඒකේ වැරැද්ද කරලා තියෙන්නේ.

ඒ හින්දා අපේ වර්තමාන භාරකාරයා හැටියට සැළකෙන අපේ ජනාධිපති මේ අනුර කුමාර දිසානායක මැතිතුමාගෙන් මේ අභය දුන්න ස්ථානයේ ඉඳලා අපි ඉල්ලීමක් කරනවා අපේ ඥානසාර හාමුදුරුවන්ට ඒ මෛත්‍රීපාල ජනාධිපතිතුමා දුන්නු නියෝගය නිලධාරීන් හරියට කරලා නෑ. ඒ හින්දා අපේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒ නිලධාරිතුමන්ලා නිවැරදිව මේක ක්‍රියාත්මක කරලා ඔබතුමාට පුළුවන් අපේ ඥානසාර හාමුදුරුවන්ට ඒ අභය දෙන්න. ඒ වගේම ජනාධිපති සමාව ලබා දෙන්න පුළුවන්. අභය දෙන්න කියලා ලෝකෙට ඉස්සෙල්ලාම කිව්වේ මේ පුදබිමේ. මිහිඳු හාමුදුරුවෝ කිව්වේ ඔබ අයිතිකරු නෙමෙයි භාරකාරයා පමණි කියලා.

එමනිසා ඔබතුමාට පහසුවක් හැටියට මේ අභය දුන්න ස්ථානයේ ඉඳලා අපි අත්සන් ලංකාවේ සිව්කොණ, සිව්දිශාවේ ඉන්න භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන මේ සිව්වනක් පිරිස, නැත්නම් දෙමළ, සිංහල, මුස්ලිම් කියන මේ ජනවර්ගයන් ආගම් වශයෙන් හින්දු, ඉස්ලාම්, කතෝලික,බෞද්ධ කියන ජනවර්ගයා ඒකරාශී කරගෙන අපි ලක්ෂ 50ක් නෙවෙයි කෝටියක් අත්සන් සකස් කරලා අතිගෞරවනීය අපේ මහනායක හිමිපාණන් වහන්සේලාට මේ ලේඛන  ටික සකස් කරලා දීලා අපි නියෝජනය කරන්නේ උන්වහන්සේලා . පාද නැමැද දෙපා නමස්කාර කරලා අපි උන්වහන්සේලාට පිළිගන්නනවා. උන්වහන්සේලාට පිළිගැන්වූවාට පස්සේ ඔබතුමාලට මේ ලේඛන ටික ලැබෙනවා. ඒ නිසා ඔබතුමාට ලැබී තිබෙන බලතල අනුව ඔබතුමාට පුළුවන් මේ අපේ ඥානසාර හාමුදුරුවන්ට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දුන් නියෝගය නැවත සක්‍රිය කරන්න.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: