hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 09, ප.ව. 2:20



ත්‍රෛනිකායික ජාතික භික්ෂු එකමුතුවේ ශ්‍රී ලාංකික ජාතිය බලගන්වන රට හදන මග ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ මස 14 දින මිහින්තලා රජ මහ විහාර පරිශ්‍රයේදී එළිදක්වන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පැවැසූවා.                                                                                                                     

අද (09) දින එම ප්‍රතිපත්ති ප්‍රකාශනය මහනුවරදී මල්වතු අස්ගිරි මහනාහිමිවරු වෙත පිළිගැන්වීමෙන්  අනතුරුව උන්වහන්සේ මාධ්‍ය හමුවේ ඉහත අදහස් පළ කළා.                                                         

මෙහිදී මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් පළ කළ උන්වහන්සේ මෙසේද සඳහන් කළා,

“නිදහසේ සිට තට්ටු මාරු ක්‍රමයට මේ රට පාලනය කළ බලලෝභී කණ්ඩායම් මේ වන විට මේ රට බංකොලොත් රටක් බවට පත් කරමින් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය අහෝසි කර තිබෙනවා. මේ රටේ පාර්ලිමේන්තුවේ දැන් ඉන්නේ දේශපාලඥයෝ නොව  රට විනාශ කිරීම සඳහා තව දුරටත් කැස කවමින් සිටින ත්‍රස්තවාදී  කණ්ඩායමක් බව අපි සඳහන් කරනවා. මේ කිසි කෙනෙක් රටට ජනතාවට ආදරය නෑ. ඒ අයගේ එකම පරමාර්ථය හොඳින් හෝ නරකින්  තමන්ගේ මඩිය තරකර ගැනීම පමණයි. තවදුරටත් මේ තත්වය දරන්න බැරි නිසයි අපි ත්‍රෛනිකායික  මහාසංඝරත්නය එකතු වෙලා මේ රට, රටේ ජනතාව වෙනුවෙන් ඉදිරියට එන්න කතිකාවක් ඇති කර ගත්තේ. අද මේ රටේ ජාතික ආරක්ෂාව පවා දැඩි තර්ජනයකට ලක්වෙලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාවට අනුව ත්‍රිවිද හමුදාව ලක්ෂය දක්වා අඩු කරන්න යනවා. අඩුම වශයෙන් පොලිස්පතිවරයෙක්වත් පත් කරගන්න බැරි ආණ්ඩුවක් තමයි දැන් තියෙන්නේ.                                                

මේ රට පාලනය කරන දේශද්‍රෝහී කණ්ඩායමෙ කිසි කෙනෙක්  ගෑවිලාවත් නැති නව රාජ්‍ය පාලනයක් ඇති කරන එක තමයි අපේ උත්සාහය. ඒ උත්සාහයේදී අපි අලුත් පක්ෂ හදන්නේ නෑ. මේ රටට වින කරන පක්ෂ අහෝසි කරන්නයි අපි උත්සාහ කරන්නේ. මේ රට පාලනය කරන අය අතර තියන්නේ වංචාව දූෂණය බලලෝභය විතරයි. අපි බලාපොරොත්තු වන නව පාලනයේ දී ජේ.ආර්ගෙ වියවස්තාවේ සිට සියලු දේ අහෝසි කළ යුතුයි. මේ රට පාලනය කරන්න 225 ක් අවශ්‍ය නෑ.25 ක් හොඳටම ඇති. මේ වසර 75 ක් තිස්සේ පාලකයෝ කියන කණ්ඩායම රටට මොනවද කළේ. බංකොලොත් රටක් බවට පත් කිරීම විතරයි කළේ. මේ පාර්ලිමේන්තුව කියන මහලු මඩමේ ඉන්න සියලු දෙනා ඉවත් කොට නව නායකත්වයක් යටතේ රට ගොඩ ගැනීම තමයි අපේ එකම බලාපොරොත්තුව.                                                                             

අපි එකතු වුණොත් ඒක කරන්න පුළුවන්. මේ වැඩේට මහා සංඝරත්නය විතරක් නෙමෙයි සියලුම ආගම්වල නායකයන්, ජනතාව අපි එකතු කරගන්නවා. පන්සල් වලට මල් වට්ටි පලතුරු කූඩ අරගෙන එන දේශපාලනඥයෝ ප්‍රතික්ෂේප කරන්න කියලා අපි මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කරනවා. අපේ පන්සල් වලට එන්න එපා කියලා ඒ අයට අපි කියනවා.මේ රට මේ වැටිල තියෙන තත්වයට අපිත් වගකියන්න ඕනේ. දැන්වත් මේ තත්ත්වයෙන් අත්මිදෙමු කියලා අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. රටට ආදරේ කරන මහා සංඝරත්නය ප්‍රමුඛ සියලුම දෙනාට එළඹෙන 14 වෙනිදා මේ රටේ සංස්කෘතිය ආරම්භයේ මූලස්ථානය වූ මිහින්තලා රජමහා විහාර භූමියට එන්න කියලා අපි ආරාධනා කරනවා.” යනුවෙන්ද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා.                                                          

මෙම අවස්ථාවට ජාතික සංඝ සම්මේලනයේ භාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන, ජාතික භික්ෂු එකමුතුවේ නියෝජිත පූජ්‍ය පාහියංගමුවේ ආනන්දසාගර හිමිවරු ද එක්ව සිටියා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: